රහස් නිවසේ සැඟවී සිටි අට දෙනා අතරින් මුලින්ම මරණයට පත්වූයේ හර්මන් වෑන් පෙල්ස්ය [Hermann Van Pels] ඔක්තෝම්බර මාසයේ මුල හරියේ දිනකදී පෝලන්තයේ අවුස්ච්විට්ස්-බීර්කනෝ [Auschwitz-Birkenau] කඳවුරේ ගෑස් කාමරයකට යවනු ලදුව ඔහු මරා දමා තිබුණි.
මට කවදාවත් ඒ මොහොත අමතක කරන්න බැහැ.මමත් දහහත් හැවිරිදි පීටරුත් තෝරාගත් මිනිසුන් කණ්ඩායමක් ගෑස් කාමර වෙත රැගෙන යන දිහා බලාගෙන හිටියා.ඒ කණ්ඩායමේ මිනිසුන් අතර පීටර්ගේ තාත්තත් හිටියා අපි දැක්කා.-ඔටෝ ෆ්‍රෑන්ක්-
ඔක්තෝම්බර් මස අවසානයේ දිනක අවුස්ච්විට්ස්-බීර්කනෝ සිට ජර්මනියේ හැම්බර්ග් [Hamburg] නගරය ආසන්නයේ තිබූ නියුන්ගම් [Neuengamme] කඳවුරට යැවීමට තෝරා ගත් පිරිසට අයත් වූ ෆ්‍රිට්ස් ෆෙෆර්[Fritz Pfeffer] අධික වෙහෙස නිසා රෝගීවී-1944 දෙසැම්බර් 20-වනදා එහිදී මිය ගියේය.
1944-45 ශීත සෘතුව පෝලන්තයේ දකුණු දිග ප්‍රදේශ දැඩි සීතලකට මුහුණ දුන් වකවානුවක් විය. ආහාර අඩු කමිනුත්,සීතලට අවශ්‍ය තරම් ඇඳුම් සපයා ගැනීමට නොහැකි කමිනුත් පීඩා විදීන්නට සිදුවීමෙන් රෝගීවූ එඩිත් ෆ්‍රෑන්ක්-හෝලැන්ඩර් [Edith Frank-Hollaender], අවුස්ච්විට්ස් -බිර්කනෝ කඳවුරේදී -1945 ජනවාරි 06- වනදා මිය ගියාය.
අධික උණෙන් පෙලීම නිසා,රෝගී වූවන් සිටින බැරැක්කයක් වෙත රැගෙන යාමෙන් පසුව
මට ඇය නැවතත් කඳවුරු බිමේදී මුණ ගැසුනේ නැහැ.ඒත් මමත් එම බැරැක්කය වෙත ගියා රෝගී වීම නිසා.දිනක් උදෑසන හදිසියේම මම ඇයව දුටුවා.එඩිත් නිකම් හෙවනැල්ලක් වගේ වෙලා හිටියා. ඒත් ඇත්තටම මම ඇයව අඳුනා ගත්තා .ඇය හිටියේ වෙනත් වාට්ටුවක.ටික දවසකින් ඇය එහිදී මියගියා.අතිශය වෙහෙසකර ඒ ජීවිතයෙන් ඇය නිදහස ලැබුවා.-රෝසා ඩී වින්ටර්-ලෙවී-[Rosa de Winter-Levy][The footsteps of Anne Frank]
ඕගස්ටෙ වෑන් පෙල්ස් [Auguste Van Pels]මහත්මිය -1944 නොවැම්බර් මස අවසානයේදී අවුස්ච්විට්ස්-බීර්කනෝ සිට ජර්මනියේ බ්‍රේමන් [Bremen] නගරය ආසන්නයේ තිබූ බර්ජන්-බෙල්සන් [Bergen -Belsen]කඳවුර වෙත යවන ලදී.
එහිදී ඇයට ඔක්තෝම්බර් මාසයේදී බර්ජන්-බෙල්සන් වෙත රැගෙන ගිය ඈන් හා මාගෝ යලි දකින්නට ලැබුණි.
ඉන් මාස කීපයකට පසුව බොහෝ විට පෙබරවාරියේදී පමණ, ඇය තවත් සිරකරුවන් පිරිසක් සමඟ පලමුව රගුන්[Raguhn]වෙතත් එතැනින් තෙරෙසින්ස්ටාඩ්ට් [Theresienstadt]කඳවුර වෙතත් ගෙන යන්නට තීරණය කෙරුණි.ඇසින් දුටු සාක්ෂියකට අනුව මේ ගමන අතර මඟදී දුම්රියේ ගාඩ්වරුන්, ගමන් කරන දුම්රියේ ඉදිරිපසට විසි කර කුරිරු ලෙස ඇය මරා දමන ලදී.
1945 ජනවාරි වන විට රුසියානු හමුදා ඉතා ශක්තිමත් ලෙස සංවිධානය වෙමින් නොනවතින ඉදිරි මෙහෙයුම් සිදුකරමින් අවුස්ච්විට්ස්- බිර්කනෝ කඳවුර ආසන්නයටම පැමිණ සිටියහ.
කඳවුරේ සිටි නාසි භටයින් තමා සමඟ පිටව යා යුතු යැයි සිරකරුවන්ට බල කරන ලදී. බොහෝ විට ඔටෝ ෆ්‍රෑන්ක් රෝගී බව පෙන්වමින් රෝගීන් සඳහා වූ බැරැක්කයක් වෙත ගිය අතර ඔහු, තමා මෙන්ම රෝගී වූවන්ගේ බැරැක්කයට විත් සැඟවෙන ලෙස පීටර් වෑන් පෙල්ස්ටද [Peter Van Pels]බල කරමින් කියා සිටියේ.
නමුත් පීටර් හොඳටම බය වෙලයි හිටියේ.බොහෝ සිරකරුවන් හිතාගෙන හිටියේ නාසින් සමඟ යන්නට එකඟ නොවී ඉතිරි වන සියලුම දෙනා ඔවුන් පිටව යන්නට පෙර වෙඩි තබා මරා දමාවි කියලයි. ඉතිං ඔහු තීරණය කලා කඳවුරෙන් පිටව යන්නන් සමඟ ඉතා අසීරුවූ ගමන යන්නට.-ඔටෝ ෆ්‍රෑන්ක්-
ජනවාරි අවසානය වන විට ඒ භයානක ගමන ඕස්ට්‍රියාවේ[Austria] මෞතවුසන් [Mauthausen] කඳවුරෙන් අවසන් කරන්නට පීටර් සමත්වී තිබුනත්, එම කඳවුර මිත්‍ර හමුදා විසින් මුදාගන්නට දින තුනකට කලින් -1945 මැයි 05- වෙනිදා ඔහු ඉතා අවාසනාවන්ත ලෙස එහිදී මිය ගොස් තිබුණේය.
-1945 ජනවාරි 27-වනදා රුසියානු හමුදා විසින් අවුස්ච්විට්ස්-බිර්කනෝ කඳවුර මුදාගන්නා විට එහි ඉතිරිව සිට දිවි ගලවා ගන්නට සමත්වූ 7650 දෙනා අතරින් එක් අයකු වන්නට ඔටෝ ෆ්‍රෑන්ක් සමත්වී තිබුණි.
ඉන් පසුව ආපසු තම නිවස වෙත එන දීර්ඝ ගමන ඇරඹූ ඔහු ඔඩෙස්සාව හරහා යුක්රේනයටත්, එතනින් ප්‍රංශයටත් පැමිණියේය. එතැන් සිට දුම්රියෙන් ගමන් කල ඔහු ජූනි 03වනදා තමා අත් අඩංගුවට පත් වීමෙන් මාස දහයකට පසුව යලිත් ඈම්ස්ටර්ඩෑම් වෙත ලඟා වූයේය.
ඒ එන ගමන අතර මඟදී හමුවූ රෝසා ඩී වින්ටර්-ලෙවී[Rosa de Winter-Levy] වෙතින් ලද තොරතුරු අනුව තම බිරිඳ එඩිත් මියගිය බව තිර ලෙසම දැන සිටි ඔහු දියණියන් දෙදෙනා ජීවතුන් අතර ඇතැයි තරයේ විශ්වාස කලේය.
ජර්මනියේ බර්ජන්-බෙල්සන් වෙත ඔවුන් ගෙන ගිය බව ඔහුට දැන ගන්නට ලැබී තිබුණු අතර එය ඝාතක කඳවුරක් නොවීය.මියැප් හා ඇගේ සැමියා ජෑන් හා එක්වූ ඔටෝ දිනපතාම ඈන් හා මාගෝ පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට බොහෝ වෙහෙස විය.මාස දෙකකට පමණ පසුව,කඳවුර මුදාගන්නට සති කීපයකට පෙර ඔවුන් දෙදෙනාද බර්ජන්-බෙල්සන් කඳවුරේදී ටයිෆස් උණ සෑදීම නිසා මියගිය බව ඔටෝ ස්ථිර ලෙසම දැන ගත්තේය.
(ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් ලබාගත් ඒවාය.)
සැප්. 04, 2010 @ 10:15:48
මා ඔබට කුමක් කියන්නද
ඈන් ෆ්‍රෑන්ක්
ඇයට සිහිනයක් තිබිණි
නපුරු මිනිසෙකු පැමිණ
එය ඇගෙන් උදුරා ගෙනය.
සැප්. 06, 2010 @ 00:33:13
ඇත්තටම
කියන්නට හෝ අසන්නට
කිසිවක්ම ඉතිරිව නැති බව නම් ඇත්තක්.
එහෙත්
තනිව හිඳ සිතන්නට
නිමක් නැති බොහෝදේ
මට ඉතිරි උනා.
ඒ කිසිම දෙයක් වචනයෙන් කියන්න බැරි උනත්..ඒ හැමතැනම තවමත් තියන්නේ හුස්ම හිරකවන සීතල අඳුරක්.
ඇත්තටම මේකට මුහුණ දෙද්දින් ඒක කොයි තරම් භයානක වෙන්න ඇතිද එතකොට…??
සැප්. 04, 2010 @ 22:26:56
මම ඔවුනට නපුරු මිනිසුන් යැයි නොකියමි…
දෙපයින් ඇවිද්දත්….
මිනිස්කමක් ගෑවිලාවත් නැති
උන්ගේ පපු කැවුතු තුළ…
ම්ලේච්ඡත්වය රජකළ බැවිනි…
සැප්. 06, 2010 @ 00:38:03
ඇත්තටම මේ වගේ දේවල් කරන්න මිනිස්සුන්ට හිතෙනවද කියලා මටත් හිතා ගන්න බෑ.
සැප්. 05, 2010 @ 18:01:53
ඔන්න අදයි කලින් පෝස්ට් සේරම කියවලා ඉවර කලේ.
එක දිගටම මතක් වෙන්නේ ෆිල්ම් ගොඩක්.
මේ කතාවෙ ෆිල්ම් එකක් තියෙනවද?
සැප්. 06, 2010 @ 00:44:33
ඔබ අදහස් කලේ ඈන් ෆ්‍රෑන්ක් ගැන නම්, මම බලලා තියන්නේ මේක.
සැප්. 08, 2010 @ 10:29:11
තව දුරටත් මිනිස්සු ඒකාධිපති වියරු වලට ඉඩ තබන්නේ මෙවන් ඉතිහාසයක් පවතින ලෝකයකයි.
සියල්ලම කියෙව්ව.. ඒත් අදනම් අදහසක් දක්වන්න බෑ.. නිහඞතාවය නිවැරැදිම අදහස වෙයි.