වින්ඳ දුක් බර වැඩි නිසා…

-1944 සැප්තැම්බර් 05- වෙනිදා,දින දෙකක වෙහසකාරී ගමනකින් පසුව  පාන්දර දෙකට වෙස්ටර්බෝර්ක් [Westerbrok] සිට අවුස්ච්විට්-බීර්කනෝ [Auschwitz-Birkenau] වෙත දහසක් දෙනා රැගෙන ආ  ගවයින් ප්‍රවාහනය කරන දුම්රිය,  දුම්රිය වේදිකාවේ නවත්වන විට,
පිටතින් අපිට මිනිසුන් කථා කරන ශබ්ද ඇහුනා.ඔවුන් දුවන හා මහා හඬින්  කෑගසන ශබ්දත් ඒ අතරම  ඇහුනා.අපිට අවශ්‍ය උනේ වතුර හා පිරිසිදු වාතය.වසා තිබූ දොරවල් හදිසියේම විවෘත උනා.ඒ නිල් හා අලු මිශ්‍ර ඉරි සහිත සිරකරුවන් අඳින වර්ගයේ ඇඳුම් ඇඳ පැතලි තොප්පි පැළඳ සිටී තරුණයින් අතින්.ඔවුන් අතේ විශාල මුගුරක් බැගින් තිබුනා.
‘ඉක්මනින් බැහැපන්, ඉක්මන් කරපන්’ඉක්මන් කරපන්’ ඔවුන් කෑගහන්න පටන් ගත්තා.
දුම්රියෙන් බැහැපු අපි ඉදිරිපිට එක අතකින් කසයකුත්,පසෙකින්  අපි දෙසට උසි ගැන්වූ දඬ බල්ලනුත් සහිතව  හිටියේ ප්‍රකට එස් එස් භටයි.ඉතාමත් විශාල පිරික්සුම් විදුලි පහන් අපි දිහාට යොමුවෙලා තිබුනා. හරියටම  මහ දවාලක වගේ එළියක් තිබුණා.-රෝසා ඩී වින්ටර්-ලෙවී -To the gas chamber/Aan de gaskamer ontstnapt-

ඒ බියකරු උදෑසන දුම්රිය වේදිකාවේදී පළමුවෙන්ම එහි සිටි පිරිස කාන්තාවන් හා පිරිමින් ලෙස  වෙන් කෙරුණු අතර,ඉන් පසුව ඔවුන් සියලු දෙනාවම නාසි වෛද්‍යවරයෙකු  විසින් සෝදිසි කරන බලන ලදී.
නිලධාරියා ඉතාමත් පරීක්ශාකාරීව  පෝලිමේ සිටි අයව තෝරන්න පටන් ගත්තා.තියුණු ඇස් ඇති නිරෝගී පෙනුමෙන් සිටි අයව දකුණු පැත්තට..ඒ කියන්නේ හොඳ පැත්තටත්.. ඔත්පලව සිටි,මලානික ඇස් ඇති අය ,කුඩා දරුවන් හා ඔවුන්ගේ මව්වරුන්,මහලු අය සියලු දෙනාම අනිත් පැත්තටත් බෙදා වෙන් කෙරුණා.ඔවුන් කෙලින්ම යැවුනේ ගෑස් කාමර වෙතයි.-රෝසා ඩී වින්ටර්-ලෙවී -To the gas chamber-

මේ වෙන් කිරීමේදී රහස් නිවසේ සිටි සියලු දෙනා දකුණු පස කොටසට අයත් වුනා. ඒ කියන්නේ හොද පැත්තට.ඒකෙ තේරුම ඔවුන් බලෙන් සේවයේ යොදවන කම්කරුවන් උනා.
නමුත් මව හා දියණියන් දෙදෙනා එක් පසෙකටත්,පියා අනිත් පසටත් යලි කිසි දිනක හමු නොවන ලෙස ඔවුන් වෙන්ව ගියා.

-1944 ඔක්තෝම්බර් මාසයේදී ඈන් හා මාගෝ පමණක් අවුස්ච්විට්-බීර්කනෝ සිට ජර්මනියේ බර්ජන්-බෙල්සන්[Bergen-Belsen]වෙත මාරු කර හරිනු ලැබූ අතර,එය අවුස්ච්විට් මෙන් ඝාතක කඳවුරක් නොව,රඳවා තබා ගැනීමේ කඳවුරක් උනා.
එළඹෙන ශීත සෘතුව සඳහා කිසිදු හව්හරණක් නොමැති කඳවුර තුල පාලනයකින් තොරව රෝග බෝවෙමින් තිබුණු  අතර,ආහාර පිණිස ඉඳහිට පමණක් සිරකරුවන් වෙත ආහාර ස්වල්පයක් ලැබුණි.
ඈනුයි  එයාගේ අක්කයි හොඳටම කෙට්ටු වෙලා,අඳුර ගන්නත් බැරි තරම් වෙනස් වෙලා හිටියා. ඔවුන්ගේ පෙනුම ඉතාමත් කණගාටුදායකයි, කට හඬේ පුංචි ගොතයකුත් එක්ක වෙව්ලීමකුත් දකින්න තිබුණා.
පැහැදිලිවම කිව්වොත්  ටයිපස් උණ රෝගයට ඔවුන් ගොදුරු වී ඇති බවට වූ  ලක්ෂණ  පෙනෙන්නට තිබුණා.
බැරැක්කයේ තිබුණු කරදරකාරීම තැනකයි ඔවුන් වැතිරිලා හිටියේ.බැරැක්කයේ දොර ඇරෙන වැහෙන වාරයක්, වාරයක් පාසා ඔවුන් දොර වසා දමන්නැයි කෑගසමින් ඉල්ලා සිටියා.
සීතල සුළඟට කෙලින්ම නිරාවරණය වෙමින්,උණ රෝගයෙන්ද පෙලෙමින් සිටි ඔවුන්ගේ ගතවෙන දිනයක් දිනයක් පාසා දුර්වල වෙමින් ගිය කට හඬවල් අවසානයේදී නිහඬ උනා…
ෆ්‍රෑන්ක් දැරියන්ගෙන් ඉස්සෙල්ලාම මියගියේ වැඩිමහල් දැරියයි…ඉන් දින කීපයකට පසුව බාල දැරියත් මිය ගියා.-රැචල් වෑන් ඇමරොන්ගන්-ෆ්‍රෑන්ක්ෆූඩර්-[Rachel Van Amerongen-Frankfoorder]
-1945  මාර්තු- මාසයේ දිනකදී මුලින්ම මාගෝත්, ඉන් දින කීපයකට පසුව ඈන් ද බර්ජන් බෙල්සන් කඳවුරේදී මිය ගියාය.ඉන් සති කීපයකට පසුව අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍ය හමුදා කඳවුර නිදහස් කර ගන්නා ලදී.

අවාසනාවන්ත අවසානය කරා…

රහස් නිවසේ සැඟවී සිටි අට දෙනා අතරින් මුලින්ම මරණයට පත්වූයේ හර්මන් වෑන් පෙල්ස්ය [Hermann Van Pels] ඔක්තෝම්බර මාසයේ මුල හරියේ දිනකදී පෝලන්තයේ අවුස්ච්විට්ස්-බීර්කනෝ [Auschwitz-Birkenau] කඳවුරේ ගෑස් කාමරයකට යවනු ලදුව ඔහු මරා දමා තිබුණි.
මට කවදාවත් ඒ මොහොත අමතක කරන්න බැහැ.මමත් දහහත් හැවිරිදි පීටරුත් තෝරාගත් මිනිසුන් කණ්ඩායමක් ගෑස් කාමර වෙත රැගෙන යන දිහා බලාගෙන හිටියා.ඒ කණ්ඩායමේ මිනිසුන් අතර පීටර්ගේ තාත්තත් හිටියා අපි දැක්කා.-ඔටෝ ෆ්‍රෑන්ක්-

ඔක්තෝම්බර් මස අවසානයේ දිනක අවුස්ච්විට්ස්-බීර්කනෝ සිට ජර්මනියේ හැම්බර්ග් [Hamburg] නගරය ආසන්නයේ තිබූ නියුන්ගම් [Neuengamme] කඳවුරට යැවීමට තෝරා ගත් පිරිසට අයත් වූ ෆ්‍රිට්ස් ෆෙෆර්[Fritz Pfeffer] අධික වෙහෙස නිසා රෝගීවී-1944 දෙසැම්බර් 20-වනදා එහිදී මිය ගියේය.

1944-45 ශීත සෘතුව පෝලන්තයේ දකුණු දිග ප්‍රදේශ දැඩි සීතලකට මුහුණ දුන් වකවානුවක් විය. ආහාර අඩු කමිනුත්,සීතලට අවශ්‍ය තරම් ඇඳුම් සපයා ගැනීමට නොහැකි කමිනුත් පීඩා විදීන්නට සිදුවීමෙන් රෝගීවූ එඩිත් ෆ්‍රෑන්ක්-හෝලැන්ඩර් [Edith Frank-Hollaender], අවුස්ච්විට්ස් -බිර්කනෝ කඳවුරේදී -1945 ජනවාරි 06- වනදා මිය ගියාය.
අධික උණෙන් පෙලීම නිසා,රෝගී වූවන් සිටින බැරැක්කයක් වෙත රැගෙන යාමෙන් පසුව
මට ඇය නැවතත් කඳවුරු බිමේදී මුණ ගැසුනේ නැහැ.ඒත් මමත් එම බැරැක්කය වෙත ගියා රෝගී වීම නිසා.දිනක් උදෑසන හදිසියේම  මම ඇයව දුටුවා.එඩිත් නිකම් හෙවනැල්ලක් වගේ වෙලා හිටියා. ඒත්  ඇත්තටම මම ඇයව අඳුනා ගත්තා .ඇය හිටියේ වෙනත් වාට්ටුවක.ටික දවසකින් ඇය එහිදී මියගියා.අතිශය වෙහෙසකර ඒ ජීවිතයෙන් ඇය නිදහස ලැබුවා.-රෝසා ඩී වින්ටර්-ලෙවී-[Rosa de Winter-Levy][The footsteps of Anne Frank]

ඕගස්ටෙ වෑන් පෙල්ස් [Auguste Van Pels]මහත්මිය -1944 නොවැම්බර් මස අවසානයේදී  අවුස්ච්විට්ස්-බීර්කනෝ  සිට ජර්මනියේ බ්‍රේමන් [Bremen] නගරය ආසන්නයේ තිබූ බර්ජන්-බෙල්සන් [Bergen -Belsen]කඳවුර වෙත යවන ලදී.
එහිදී ඇයට  ඔක්තෝම්බර් මාසයේදී  බර්ජන්-බෙල්සන් වෙත රැගෙන ගිය ඈන් හා මාගෝ යලි  දකින්නට ලැබුණි.
ඉන් මාස කීපයකට පසුව බොහෝ විට පෙබරවාරියේදී  පමණ, ඇය තවත් සිරකරුවන් පිරිසක් සමඟ පලමුව රගුන්[Raguhn]වෙතත් එතැනින් තෙරෙසින්ස්ටාඩ්ට් [Theresienstadt]කඳවුර වෙතත් ගෙන යන්නට තීරණය කෙරුණි.ඇසින් දුටු සාක්ෂියකට අනුව මේ ගමන අතර මඟදී   දුම්රියේ ගාඩ්වරුන්, ගමන් කරන දුම්රියේ ඉදිරිපසට විසි කර කුරිරු ලෙස ඇය  මරා දමන ලදී.

1945 ජනවාරි වන විට රුසියානු හමුදා ඉතා ශක්තිමත් ලෙස සංවිධානය වෙමින්  නොනවතින ඉදිරි මෙහෙයුම් සිදුකරමින් අවුස්ච්විට්ස්- බිර්කනෝ කඳවුර ආසන්නයටම පැමිණ සිටියහ.
කඳවුරේ සිටි නාසි භටයින් තමා සමඟ පිටව යා යුතු යැයි සිරකරුවන්ට බල කරන ලදී.   බොහෝ විට ඔටෝ ෆ්‍රෑන්ක් රෝගී බව පෙන්වමින් රෝගීන් සඳහා වූ  බැරැක්කයක් වෙත ගිය අතර ඔහු, තමා මෙන්ම රෝගී වූවන්ගේ බැරැක්කයට විත්  සැඟවෙන ලෙස පීටර් වෑන් පෙල්ස්ටද [Peter Van Pels]බල කරමින් කියා සිටියේ.
නමුත් පීටර් හොඳටම බය වෙලයි හිටියේ.බොහෝ සිරකරුවන් හිතාගෙන හිටියේ නාසින් සමඟ  යන්නට එකඟ නොවී ඉතිරි වන සියලුම දෙනා ඔවුන් පිටව යන්නට පෙර වෙඩි තබා මරා දමාවි කියලයි. ඉතිං ඔහු තීරණය කලා කඳවුරෙන් පිටව යන්නන් සමඟ ඉතා අසීරුවූ ගමන යන්නට.-ඔටෝ ෆ්‍රෑන්ක්-
ජනවාරි අවසානය වන විට ඒ භයානක ගමන ඕස්ට්‍රියාවේ[Austria] මෞතවුසන් [Mauthausen] කඳවුරෙන් අවසන් කරන්නට  පීටර් සමත්වී තිබුනත්, එම කඳවුර මිත්‍ර හමුදා විසින් මුදාගන්නට දින තුනකට කලින් -1945 මැයි 05- වෙනිදා ඔහු ඉතා අවාසනාවන්ත ලෙස එහිදී මිය ගොස් තිබුණේය.

-1945 ජනවාරි 27-වනදා රුසියානු හමුදා විසින් අවුස්ච්විට්ස්-බිර්කනෝ කඳවුර මුදාගන්නා විට එහි ඉතිරිව සිට දිවි ගලවා ගන්නට සමත්වූ  7650 දෙනා අතරින් එක් අයකු වන්නට ඔටෝ ෆ්‍රෑන්ක් සමත්වී තිබුණි.
ඉන් පසුව ආපසු තම නිවස වෙත එන දීර්ඝ ගමන ඇරඹූ ඔහු ඔඩෙස්සාව හරහා යුක්රේනයටත්, එතනින් ප්‍රංශයටත් පැමිණියේය. එතැන් සිට දුම්රියෙන් ගමන් කල ඔහු  ජූනි 03වනදා තමා අත් අඩංගුවට පත් වීමෙන් මාස දහයකට පසුව යලිත් ඈම්ස්ටර්ඩෑම් වෙත ලඟා වූයේය.
ඒ එන ගමන අතර මඟදී හමුවූ රෝසා ඩී වින්ටර්-ලෙවී[Rosa de Winter-Levy] වෙතින් ලද තොරතුරු අනුව තම බිරිඳ එඩිත් මියගිය බව තිර ලෙසම දැන සිටි ඔහු  දියණියන් දෙදෙනා ජීවතුන් අතර ඇතැයි තරයේ විශ්වාස කලේය.
ජර්මනියේ බර්ජන්-බෙල්සන් වෙත ඔවුන් ගෙන ගිය බව ඔහුට දැන ගන්නට ලැබී තිබුණු අතර එය ඝාතක කඳවුරක් නොවීය.මියැප් හා ඇගේ සැමියා ජෑන් හා එක්වූ ඔටෝ දිනපතාම ඈන් හා මාගෝ පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට බොහෝ වෙහෙස විය.මාස දෙකකට පමණ පසුව,කඳවුර මුදාගන්නට සති කීපයකට පෙර  ඔවුන් දෙදෙනාද බර්ජන්-බෙල්සන් කඳවුරේදී ටයිෆස් උණ සෑදීම නිසා මියගිය බව ඔටෝ ස්ථිර ලෙසම දැන ගත්තේය.

(ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් ලබාගත් ඒවාය.)