අවසානයේ ඇරඹුම

එදින ගෙස්ටාපෝ මූලස්ථානයේ සිර මැදිරියක රඳවාගෙන සිටි රහස් නිවසේ නිවැසියන් අට දෙනා පසුදින ඇම්ස්ටර්ඩෑම් නගරයේ වීටරින්ෂන්ස් [Weteringschans] හී පවත්වාගෙන ගිය සිරමැදිරියක රඳවා තැබීම සඳහා රැගෙන යන ලදී.
-1944 අගෝස්තු 08-වනදා සිරමැදිරියෙන් පිටතට ගත් සියලු දෙනාම ඇම්ස්ටර්ඩැම් නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානය වෙත ගෙන එන ලදී.සමූල ඝාතනයන් සඳහා විශේෂයෙන්ම සකස් කර තිබූ ඝාතන කඳවුරු කරා රැගෙන යන තුරු යුදෙව් ජාතිකයින් තාවකාලිකව රඳවා තැබූ නෙදර්ලන්තයේම බොහෝ උතුරින් පිහිටි වෙස්ටර්බෝර්ක් [Westerbrok] අතරමැදි කඳවුර වෙත ඔවුන් රැගෙන යන ගමනට සූදානම් දුම්රිය ඒ වන විටත් දුම්රිය වේදිකාව මත විය.
අපි ගියේ සාමාන්‍ය මගී දුම්රියකින්.දුම්රියේ දොරවල් යකඩ ඇණ දාලා පාස්සලා තිබුණා.ඒත් ඇත්තටම ඒක අපිට කොහොමත් ප්‍රශ්නයක් උනේ නෑ.මොකද අපේ මුළු පවුලම හිටියේ එකට.අපිට කෑම බීම වගේ දේවලුත් දීල තිබුණා.අපි දැනගෙන හිටියා දැනට අපි මේ කොහෙද ඉන්නේ කියලා.අපිව අත් අඩංගුවට අරගෙන කියන එක ගැන නොසලකා හැරියොත් මේ ගමන හරියට අපි පවුලේ ඔක්කෝමත් එක්ක කොහේ හරි යනවා වගේ උනා. එලෙසින් එකට සිටීමට පුළුවන් වීම ගැන නම් ඇත්තටම අපි ප්‍රීතිමත්ව හිටියා.නමුත් මම මේ ගමන සන්සංදනය කලේ අපට ඊලඟට යන්න සිදුවුන ගමනත් එක්කයි.
ඈන් කොයිම වෙලාවකවත් ජනේලය ළඟින් අයින් වෙන්න කැමති උනේ නැහැ.පිටත සොඳුරු ගිම්හානය. කොළ පැහැති තණ බිම්,පෙනෙන තෙක් මානයේ වූ ඉපනැලි බිම්,ගම්මාන අපිට පසුවෙනවා අපි දැක්කා.ඒ යන ගමනේදී නිරන්තරයෙන්ම දුම්රියේ ජනේලයෙන් පෙනුණ ඉහල පහල ගිය දුරකතන රැහැන් හරියටම නිදහස වගෙයි. -ඔටෝ ෆ්‍රෑන්ක්-The footsteps of Anne Frank-
කැඳවීම් නොතීසි වලට නොපැමිණ සිටි අය ලෙස ගනන් ගැනුණු බැවින් ඔවුන් සියල්ලන්ම යැවුනේ සිරකුටි වෙතයි.සැප්තැම්බර් 03 වනදා වෙනතුරු මාසයකට ආසන්න කාලයක් ඔවුන් ජීවත් වූයේ එම සිරකුටි තුලය.
-1944 සැප්තැම්බර් 03 -වනදා ඔවුන් අටදෙනා සමඟ තවත් සිරකරුවන් දහසක් වෙස්ටර්බොර්ක් අතරමැදි කඳවුරේ සිට පෝලන්තයේ අවුස්ච්විට්-බීර්කනෝ [Auschwitz-Birkenau] සමූල ඝාතන කඳවුර වෙත යැවුණු අවසාන දුම්රියෙන් පිටත් කර හරින ලදී.

ඔටෝ ෆ්‍රෑන්ක් ඇතුළු පවුලේ සිව් දෙනා සැප්තැම්බර් 03 වනදා එලෙස අවුස්ච්විට්-බීර්කනෝ කරා පිටත් කර හැරි බවට සඳහන් නාම ලේඛනය.(අංක 306 සිට 309)

දින දෙකක අතිශය වෙහෙසකර ගමනකින් පසුව -1944 සැප්තැම්බර් 05 වෙනිදා පාන්දර 2.00ට අවුස්ච්විට්-බීර්කනෝ වෙත පැමිණි  ඔවුන්ව දුම්රිය වේදිකාවේදීම තේරීමකට ලක් කෙරුණි. වැඩ කල හැකි,ශක්තිමත් අයට ජීවත් වීමට ලැබුණු අතර ,වයස අවුරුදු පහළවට අඩු ළමුන් ඇතුළු අනිත් සියළුම දෙනා පසුදිනම ගෑස් කාමර වලට යවනු ලැබ මරා දැමුණි. වයස අවුරුදු පහළව පසුකර තිබුණු නිසා ඈන් එදින යාන්තමින් ජීවිතය රැකගන්නට සමත් වූවාය.
කඳවුරේ තත්වය ඉතා අවාසනාවන්ත විය. සිරකරුවන්ට ආහාර සුලභ නොවූ අතර,ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නටත්  කිසිදු හැකියාවක් නොතිබුණි.දහවල් කාලය පුරා වෙහෙසී වැඩ කරන්නට සිදුවූ අතර,කුසගින්නෙන් හා ලෙඩ රෝග වලට ගොදුරු වීමෙන් දිනපතාම දහස් ගනනක් මිය ගියහ.ඊට අමතරව තෝරා ගැනුණු කණ්ඩායම් ගෑස් කාමර වෙත යවා මරා දැමුණි.ජීවිතය රැකගැනීම පිළිබඳව කිසිවෙකුට විශ්වාසයක් නොතිබුණි. හැම දවසක්ම අවසාන දවස විය හැකිව තිබුණි.

ඔවුන්ගේ උදව් කරුවන් වූ ජොහෑනස් ක්ලෙයිමන් [Johannes  Kleiman] හා වික්ටර් කූග්ලර් [Viktor Kugler] දෙදෙනා  සැප්තැම්බර් 11 වනදා ඇම්ස්ටර්ඩෑම් හී සිට අමර්ස්ෆූර්ට්[Amersfoort]දේශපාලන සිරකඳවුර වෙත යැවුණු අතර  ජොහෑනස් ක්ලෙයිමන් ගේ දුර්වල සෞඛ්‍ය තත්වය මත  -1944 සැප්තැම්බර් 18- වෙනිදා ඔහුව කඳවුරෙන් නිදහස් කරගන්නට රතුකුරුස සංගමය සමත් විය.-1945 මාර්තු 28-වනදා කණ්ඩායම් පරීක්ශා කිරීමක් අතරතුරදී කදවුරෙන් පලා යන්නට සමත් වන වික්ටර් කූග්ලර් යුද්ධය අවසන් වන තුරු සැඟවී සිට ජීවිතය රැකගන්නට සමත් විය.

මේ සේයාරූ දෙක  අන්තර් ජාලයෙන් ලබාගත් ඒවාය.

1944 අගෝස්තු 04

ගිම්හානයේ ඒ සොඳුරු උදෑසන කෙමෙන් මධ්‍යහනය බවට පෙරලෙමින් තිබුණි. ප්‍රින්සෙන්ග්‍රාච්ට් 263 නිවස සුපුරුදු නිසල බවේ ගිලී තිබෙන්නට ඇත.පහල කාර්යාලයේ සියල්ලන්ම  දවසේ කටයුතු අරඹා තිබුණි.
ඔටෝ ෆ්‍රැන්ක් පීටර්ගේ කාමරයට  ගියේ වෙනදා මෙන්ම ඉංග්‍රීසි පාඩම කියාදීමටය.වෙලාව උදෑසන 10.30වී තිබුණි.එක්වරම පැමිණි අඳුරු පාට මෝටර් රථ තුනක් ප්‍රින්සෙන්ග්‍රාච්ට් 263 නිවසේ දොරකඩ නැවැත්වූ අතර,එස් එස් නිලධාරියෙකු වූ කාල් සිල්බර්බෝර් [Karl Josef Silberbauer]ඇතුළු තවත් නෙදර්ලන්ත පොලිස් නිලධාරින් තිදෙනෙකු මොහොතකින් ප්‍රධාන කාර්යාලයට කඩා වැදුනහ.මියැප්,බෙප්,ජොහැනස් මෙන්ම වික්ටර් කුග්ලර්ද කාර්යාලය තුල විය.
වසර දෙකකටත් වඩා රැකගෙන සිටි රහස හෙළිවි ඇති බව සියල්ලන්ටම වැටහී යන්නට විය.අවාසනාවන්ත පාවාදීම සිදුව තිබුණි.පැමිණියවුන් සියල්ල දැන සිටියහ.රහස් දොර වෙත ඔවුන් ගෙන යන්නට වික්ටර් කුග්ලර්ට සිදුවිය.
පොත් රාක්කය ඉවතට තල්ලු කරමින් නිවස වෙත පිවිසෙන ඔවුන්ගේ හඬ පීටර්ට ඇසුණි
ඇසිල්ලක් ගත වෙන්නටත් පෙර නාසි භටයකු කාමරයේ දොර විවෘත කරමින් එයට ඇතුළු විය ඔටෝට හා පීටර්ටත් පහල ප්‍රධාන කාමරයට යන්නට අණ ලැබුණි.නිවසේ සිටි අනිත් අය ඒ වන විටත්  කාමරයට රැගෙන විත් තිබුණි.
අන් සියලු තන්හීදී මෙන්ම මෙතැනදීද මුලින්ම කෙරුණු ඉල්ලීම වූයේ  මුදල් හා ස්වර්ණාභරන ඇත්තේ කොහේද යන්නයි.අල්මාරියේ සඟවා තිබූ මුදල් සමඟ ඈන් ගේ දින පොත තබා තිබූ බ්‍රීෆ් කේසයත් එළියට ගත් නිලධාරියා ඒ තුළ තිබූ කඩදාසි සියල්ල  බිමට හලා   මුදල් හා ආභරණ ඒ තුලට දැමුවේය.
වසර දෙකකටත් වඩා නිවැසියන් මෙහි සැඟව සිටි බව කාල් විශ්වාස නොකල අතර ඈන්ගේ කාමරයට පිවිසෙන දොර අසල බිත්තියේ,දියණියන්ගේ උස සළකුණු කරමින් ඇඳි සටහන පියා ඔහුට පෙන්වූවිට ඔහු නිහඬ විය.
ඇඳුම් කීපයක් පමණක් රැගෙන යන්නට අත්  අඩංගුවට පත්වූවන්ට අවසර ලැබුණි.ආවරණය කරන ලද රථයකට නංවාගත් නිවැසියන් අටදෙනා සමඟ වික්ටර් කුග්ලර් හා ජොහෑනස් ක්ලෙයිමන්ද ඇම්ස්ටර්ඩෑම් හී පිහිටි ජර්මන් ආරක්ශක පොලීසියේ මූලස්ථානය ‘ගෙස්ටාපෝ’ වෙත ගෙන යන ලදී.සැඟව ඇති තවත් යුදෙව් ජාතිකයන් පිළිබඳව දන්නේ දැයි සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කෙරුණු අතර ඔවුන් කිසිවකුත් ඒ ගැන දැන සිටියේ නැත.
එස් එස් භටයින් නැවතත් පැමිණෙනු ඇතැයිද,තමන්වද අත් අඩංගුවට ගනු ඇතැයිද බෙප් හා මියැප් බියෙන් පසූවූවත් පොලීසිය නැවත නිවසට ආවේ නැත.බොහෝ වේලා බලා සිටීමෙන් අනතුරුව ජෑන් ගීස්ද සමඟ කර්යාලයේ සිට නිවසට ඇතුළුවූ ඔවුන් දුටුවේ නිවස මුළු මනින්ම අවුල් කර ඇති බවකි.ඈන්ගේ දින පොත් කීපය හා ඇය ලියූ කඩදාසි පියාගේ කාමරයේ  බිම විසිරී තිබූ අතර  කවදා හෝ යලි පැමිණි දිනෙක ඇය අතට දෙන්නට යැයි සිතා ඒවා එකතු කරගත් මියැප් ගීස්  සියල්ල  තමාගේ කාර්යාලයේ මේස ලාච්චුවේ දමා අඟුළු දැමුවාය.

පාවාදීම සිදුකලේ කවුරුන්ද..??

යුද්ධය අවසන් වී කෙටි කලකින් ඔටෝ ෆ්‍රෑන්ක් හා උදව්කරුවන්ගේ ඉල්ලීම  මත රහස් නිවසේ නිවැසියන් පාවාදීම සිදු කලේ කවුද යන්න සොයා බැලුනු අතර, ඔවුන්ගේ සැකය යොමුවී තිබුනේ කාර්යාලයේ සේවය කල විලෙම් වෑන් මාරන් [Willem Van Maaren]වෙතටයි.ඔහු අවස්ථා ගණනාවකදීම සවස් වරුවේ කාර්යාලය වසා දැමුණු විට කවුරුන් හෝ ඒ තුලට පිවිසේදැයි සොයා ගැනීමට විවධ උපක්‍රම යොදා තිබුණු බැව් හෙලිවී තිබුණි.
මේ පරීක්ශන 1948 සිට 1963 දක්වාම සිදු කෙරුණු අතර 1963දී ඔවුන් අත්අඩංගුවට ගත් එස් එස් නිලධාරියා වූ කාල් ජෝසෆ් සිල්බර්බෝර් තමා ප්‍රින්සෙන්ග්‍රාන්ච්ට් නිවැසියන් අත්අඩංගුවට ගැනීම සිදුකලේ උදෑසනම පොලීසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් නිසා යැයි හෙළි කරන ලදී.මේ නිර්නාමික දුරකථන ඇමතුම ලබාදුන්නේ කවුරුන්ද යන්න තවමත් රහසක්ව පවතී.

නිවැසියන් අත්අඩංගුවට ගත් එස් එස් නිලධාරියා
-කාල් ජෝසෆ් සිල්බර්බෝර්-

නෙදර්ලන්ත යුද වාර්ථා එකතු කිරීමේ මධ්‍යස්ථානයේ ඇති,පොලීසියට ලැබුණු එවන් එක් නිර්නාමික  පාවාදීමේ සටහනක්.

ඈන් ෆ්‍රෑන්ක් නම් ලේඛිකාව

තමන්ගේ ඡායාරූපයක් දිනපොතේ ඇලවූ ඇය,තමන්ගේ බලාපොරොත්තු පිළිබඳව මෙසේ සිහින මවන්නීය.
මේ තමයි මම හැම වෙලාවෙම මාව අනිත් අයට පේනවට කැමතිම විදියේ එක පින්තූරයක්. එහෙම උනොත් මම හිතාගෙන ඉන්න විදියට මට හොලිවුඩ් යන්න චාන්ස් එකක් හම්බවේවි. ඒත් දැන් මම මීට වඩා ගොඩාක් වෙනස් වෙලා කියලා මට හිතෙන හින්දා මට බයයි.-1942 ඔක්තෝම්බර් 18-

අපි දැන් පුංචි මී පැටව් වගේ හරිම නිහඬයි.මීට මාස තුනකට කලින් ඇත්තටම කවුරුත් නිකමටවත්  හිතුවේ නැතුව ඇති හැම වෙලාවෙම වෙනස් උන ඈන්ට පැය ගාණක් මේ වගේ එක තැනකට වෙලා වාඩිවෙලා,සද්දයක් වත් නොකර ඉන්න වෙයි කියලා.ඒ තියා එයාට එහෙම ඉන්න පුළුවන් වෙයි කියලාවත්…කවුරුවත් හිතුවද?? -1942 ඔක්තෝම්බර් 01-

ලොකු මිනිස්සු පුංචිම පුංචි දේවල් ගැන මේ විදියට හරිම ලේසියෙන් රණ්ඩු කරගන්නවා ඇති කියලා  මීට කලින් කවදාවත්ම මම හිතලා තිබුනේ නැහැ.මම හිතුවේ හැම වෙලාවේම රණ්ඩු වෙන එක පුංචි අයගේ සිරිතක් කියලයි.-1942 සැප්තැම්බර් 28-
තමන්ට තමා ගැනම හා අනිත් අය ගැන  සිතෙන,වෙන කෙනෙකු හා කියන්නට ඇය අකමැතිවූ මෙවන් සිතුවිලි නිර්ලෝභීව ඇය දින පොතේ සටහන් කළාය.
ඈන් ලිවිම ඇරඹූ බොහෝ දෙනෙකු දන්නා රතු හා සුදු පැහැති කොටු වැටුණු පිටකවරයක් සහිත මේ දිනපොත -1942 දෙසැම්බර් 05-වනදා වනවිට අවසන් විය.
ඉන් පසුව සිය පියාගෙන් හා සොයුරියගෙන් ලද පොත් වල ඇය කිටි අමතමින් දිගටම සිය දිනපොත ලිවීම කරගෙන ගියාය.නමුත් ඒ පොත් අතරින් මුලින් ඇය ලිවූ ඒවාගෙන් ඉතිරිව තිබී හමුවී ඇත්තේ පොත් දෙකක් පමණි.ඒ 1943 දෙසැම්බර් 22-දා සිට -1944 අගෝස්තු 1- වනදා තෙක් ලියූ සටහන් සහිත පොත් දෙකයි.[අංක දෙක ලෙස නම් කර ඇති පොත් දෙක]

-1944 මාර්තු 28- වනදා ලන්ඩනයේ සිට විකාශනය වන රේඩියෝ ඔරේන්ජ්[Radio Oranje] ගුවන් විදුලියේ ප්‍රවෘත්ති විකාශයකදී නෙදර්ලන්තයේ අධ්‍යාපන, කලා හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමති ගෙරිට් බෝල්කස්ටයින්[Gerrit Bolkestein] ප්‍රකාශයක් කරමින්  යුද්ධයෙන් පසුව ඒ පිළිබඳව ලියැවුනු දිනපොත් හා ලිපි එකතු කරන බව  කියා සිටියේය.
මෙය ඇසුණු ඈන්ගේ සිතේ කාලයක සිට තිබුණු මහත් වූ සිහින බලාපොරොත්තුවකට යලි පණ ලැබුණි.
‘රහස් ඇනෙක්සියේ කථාව’ කියලා පොතක් පළ කලොත් කොහොම හිටියිද කියලා නිකමට හිතන්නකෝ.-1944 මාර්තු 29-
මේ ප්‍රවෘත්තිය ඇසීමෙන් පසුව තමාගේ දින පොතත් එසේ ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් ඇය යලිත් අලුතෙන්ම පිටපත් කිරීම ඇරඹුවාය. කාර්යාලයෙන් ලබාගත් වර්ණවත් ෆුල්ස්කැප් කොළවල පැරණි දිනපොතට අලුතෙන් කරුණු එකතු කරමින්ද,සමහර කරුණු පරිච්ඡේදයන් පිටින්ම ඉවත් කරමින්ද යලි ලිවුවාය .
1942 දෙසැම්බර් 6 -වනදා සිට -1943 දෙසැම්බර් 21-වනදා දක්වාවූ වසරකුත් දින 15 කාලයක් ඇය ලියූ සටහන් ඉතිරිව ඇත්තේ මුලින් තමා ලියූ සටහන් නැවතත් සකසමින් ඇය ලියූ මේ පිටපත පමණි.

පුවත් පත් කලාවේදිනියක් වෙන්න මගේ හිතේ තියන ආසාවත්, ඊට පස්සේ ප්‍රසිද්ධ ලේඛිකාවක් වෙන්න මගේ තියන බලාපොරොත්තුවත්  ඉෂ්ට වෙයිද කියන්න මම දන්නේ නැහැ.කොහොම උනත් යුද්ධයෙන් පස්සේ ‘රහස් ඇනෙක්සිය’ [Het Achterhuis/The Secret Annexe] කියලා පොතක් පළ කරන්න මට ඕනේ.මේ දින පොත ඒකට මට ලොකු උදව්වක් වේවි.-1944 මැයි 11-
ඉතාමත් උනන්දුවෙන් මේ කටයුත්ත කරගෙන ගියද සමහර වෙලාවලදී ඇය තමා ගැනම සැක පහළ කර ගත්තාය.
අද නම් කිටී මට හිතෙනවා ඇත්තටම මගේ ඔලුව හොඳ නැද්ද කියලා.මේ ලියන දේවල් වල කිසිම පිළිවෙලක් නෑ වගේ. ඇත්තටම කවදා හරි කවුරු හරි මම මේ ලියන ඒවා කියවන්න උනන්දුවෙයිද කියලත් මට සැක හිතෙනවා.- 1944 අප්‍රේල් 14-
කෙසේ වූවත් ඇය තමා ලියූ මේ සියලු සටහන් පියාගෙන්  ලබාගත් හම් බ්‍රීෆ් කේසයක සුරක්ෂිතව තබා තිබුනාය.
කිටී මම හැමදාමත් ඔයාට කියනවනේ මට තියන්නේ දෙබිඩි ජීවිතයක්.එක පැත්තකින් මම හරිම උද්‍යෝගිමත්,ඒ වගේම  හරිම කටකාරයි,හැම වෙලාවේම සතුටින් ඉන්න බලනවා, ඕනේම දෙයක් සැහැල්ලුවෙන් බාර ගන්නවා.මේ  නිසාම  මගේ හොඳ ගතිගුණ කාටවත්ම නොපෙනෙන එක ගැනත් මම ඇත්තටම දුක් වෙනවා.විශේෂයෙන්ම වැඩිහිටියන් මාව ගනන් නොගන්න එක මගේ හිත ඇත්තටම රිදවනවා.-1944 අගෝස්තු 01-
ඈන් මෙලෙසින් සිය දින පොතේ අවසන් සටහන යෙදුවාය.

ඈන් ෆ්‍රෑන්ක්ගේ පුංචි ලෝකය

දෙමාපියන්ගේ කාමරයට යාබද කුඩා කාමරයේ ඉඩකඩ මුලින්  මාගෝ සමඟත්,සිව් මසකට පසුව ෆ්‍රිට්ස්z ෆෙෆර් සමඟත් බෙදා ගන්නට ඈන්ට සිදුවිය.
අපේ පුංචි කාමරය ඉස්සර වෙලාම නම් කිසිම ලස්සනක් නැතිව හිස් බිත්තිය විතරයි තිබුනේ.ඒත් තාත්තා මගේ චිත්‍රපටි නළු නිළියන්ගේ පින්තූර එකතුවයි,පින්තූර පෝස්ට් කාඩ් ටිකයි,ගම් බෝතලෙයි,බ්‍රෂ් එකයි කලින්ම මෙහාට ගෙනල්ලා තිබුන නිසා ඒවා අලවලා මුළු බිත්තියම ලොකූ පින්තූරයක් කරන්න මට පුළුවන් උනා. ඒක නිසා දැන් කාමරය තිබුනට වඩා ගොඩාක් ප්‍රීතිමත්ව පේනවා.-1942 ජූලි 11-

අපි හැම වෙලාවෙම හිතුවා මෙහෙ තව කෙනෙකුට ඉන්න ඉඩයි, ඇතිවෙන්න කෑමයි තියනව කියලා. ඒත්, මිස්ටර් ක්ලෙයිමන්ටයි,කූග්ලර්ටයි තවත් කරදර කරන්න අපිට පුළුවන් කමක් තිබුනේ නැහැ. යුදෙව්වන්ට වෙන කරදර දවසින් දවස වැඩිවෙන බව අපට අහන්න ලැබෙද්දින් තාත්තා ඒ දෙන්නත් එක්ක මේ ගැන කතා කලා.’හත් දෙනෙක් හිටියත් අට දෙනෙක් හිටියත් මේ වැඩේ කොහොමත් අනතුරුදායකයිනේ..’ඔවුන් තමන්ගේ කැමැත්ත පලකලේ එහෙම කියමින්.-1942 නොවැම්බර් 10-

තමාගේ කාමරය වෙන කෙනෙකු හා බෙදා ගන්නට මුලින් ඇය ඉතා සතුටින් ඉදිරිපත් වූවාය.
ඉන් සතියකට පසුව නිවස වෙත ආ ෆ්‍රිට්ස්z ෆෙෆර් පිටත ලෝකය ගැන ගෙනා තොරතුරු ඈන් මහත් කම්පනයකට පත් කළාය.
යාළුවොයි,අඳුරන අයයි වැඩි දෙනෙක් මරණය කරාවූ දරුණු ඉරණමකට ලක්වෙලා තිබුනා. අනේ ඒ ඔක්කෝම වධ හිංසාවන්ට ඔවුන් ගොදුරු උනේ යුදෙව්වන් උන නිසා විතරයි.-1942 නොවැම්බර් 19-
එහෙත් වැඩි කල් නොයාම ඈන් ඔහු නොරුස්සන්නට විය .තමාගේ කුඩා මේසය දවසින් වැඩි වේලාවක් තම කටයුතු සඳහා වෙන් කරගත් ෆ්‍රිට්ස්z ෆෙෆර්  හා ඇය නිරතුරුව වාදයට ගියාය.ගැටුම් ඇරඹුනේ එතැණිනි.
ආ දැන් එයා එයාගේ වහගෙන හිටපු නියම පාට පෙන්නන්න පටන් අරගෙන.මගේ මේ පුංචි කාමරේ උතුමාණන් එක්ක බෙදා ගන්න හිතපු එකටයි,තරුණ තුන්දෙනාගෙන් වැඩියම නරක මම කියලා හැම වෙලාවෙම කාටත් වගේ පේන්න තියන හින්දයි,කොහොමටත් නොවරදවාම  අහලා පුරුදු බැනුම් වලින් බේරෙන්න මට කරන්න තියන්නේ..ඒවා ඇහුනේ නෑ වගේ ඉන්න එක විතරයි.-1942 නොවැම්බර් 28-

1944 අගෝස්තු 4 වනදා නිවසේ සිටි  සියල්ලන් අත්අඩංගුවට පත්වීමෙන් පසු,එහි තිබූ සියලුම දෑ එස් එස් භටයින් විසින් ඉවත් කල  අතර, මියැප් ගීස් ගේ හා ඔටෝ ෆ්‍රෑන්ක්ගේ අනු දැනුම මත දෙවන ලෝක යුද්ධයෙන් පසුව පෙර තිබූ පරිදි තාවකාලිකව යලි සකස් කල  ඇගේ කාමරය.

නමුත් කෞතුකාගාරය විවෘත කිරීමේදී  සියලු කාමර කිසිදු ගෘහ භාණ්ඩයක් නොමැතිව හිස්ව තබන්නැයි, ඔටෝ ෆ්‍රෑන්ක් කල ඉල්ලීමට අනුව අද මේ කාමරයත් මෙලෙස හිස්ව පවතී.

ඇය සිය කාමරයේ බිත්තියේ ඇලවූ තවමත් සුරක්ෂිත පින්තූර

එන්න යන්නට රහස් නිවසට…

අර දොරෙන් ඇතුලට ආපු ගමන් අට්ටාලයට නගින පඩිපෙලත් එක්කම තියන අඳුරු පාට දොර ඇරෙන්නේ ෆ්‍රෑන්ක් පවුලේ නිදන කාමරයටයි.
මුලින්ම එහි සිටියේ ඈන්ගේ දෙමාපියන් පමණක් වූවත් මාස හතරකට පසුව නොවැම්බර් මාසයේදී  ෆ්‍රිට්ස්z ෆෙෆර් [Fritz Pfeffer]රහස් නිවසට පැමිණීමෙන් පසුව මාගෝද මේ කාමරයට නිදන්නට පැමිණියාය.
ජනේලයේ වීදුරු කළු කල මේ අඳුරු කාමරයේ  1944 ජූනි 6දා මිත්‍ර හමුදා නෝමැංඩිය ආක්‍රමනය කරමින් සිදුකල  ගොඩ බැසීම ගුවන් විදුලියෙන් ඇසූ වේලේ ඈන්ගේ පියා ඔටෝ ෆ්‍රැන්ක් බිත්තියේ ගැසූ මේ සිතියම තවමත් සුරැකිව ඇත.

බොහෝ කාලයක් සිදුවනු ඇතැයි  බලා සිටි ආක්‍රමනය සිදුවී ඇත.දිනපතා ගුවන් විදුලියෙන් ඇසුණු තොරතුරු වලට  අනුව මිත්‍ර හමුදා දිනෙන් දින ඉදිරියට ඇදෙන නගර මත පාට ඇණ ගසමින් ඔවුහු නැවත වරක් ජීවිතය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු දල්වා ගන්නට ඇත.මේ ප්‍රවෘත්තිය ඇසූ ඈන්  බොහෝ සතුටට පත් වූවාය.

අපේ ගෙදර ලොකූ කලබලයක්.මෙච්චර කල් වෙයි කියලා බලා ගෙන හිටපුදේ සිදුවීම ඇරඹිලා.මේ සිදුවීම් වල අවසානය ඇත්තටම සුරංගනා කතාවක් වගේ වෙයි.ආදරණීය කිටී ඔයාට තේරෙන්නේ නෑ, යාළුවෝ ලඟ ලඟම එනවා කියන නිදහස පිළිබඳ හැඟීම කොයි තරම් සුන්දරයිද කියනව නම් මගේ හිත සතුටින් පිරිලා. -1944 ජූනි 6-

ඈන්ගේ පියාත්,හර්මන් වෑන් පෙල්ස් [Hermann Van Pels] මහතාත් ඔක්තෝම්බර් දහවෙනිදා වනවිට නෙදර්ලන්තය මිත්‍ර හමුදා අතට පත් වනු ඇතැයි අනුමාන කලහ. ඔක්තෝම්බර් හෝ සැප්තැම්බර් මාසය වනවිට තමන්ට යලි පාසල් යන්නට හැකි වනු ඇතැයි මාගෝ අලුත් බලාපොරොත්තුවක්ද පල කලාය.
මෙහි සුරැකිව ඇති අනිත් මතකය වන්නේ  දිනෙන් දින වයසින් හා මනසින් වැඩෙන  නමුදු නිදහස හා සුන්දර ළමාවිය අහිමි වූ තම දියණියන් දෙදෙනාගේ උස මැනීම සඳහා දෙමාපියන් බිත්තියේ  සළකුණු කල  මේ උස සටහන් කල  ඉරි කීපයයි.

වෙඩි තියන එකටයි,ප්ලේන් වලටයි මගේ හිතේ තියන බය කොච්චරක්ද කියනව නම්  ඒ සද්ද ඇහෙනකොට හැමදාම මම තාත්තගේ ඇඳට යනවා.ඒක බොළඳ වැඩක් නම් තමයි.ඒ උනාට ඒක කොයි වගේද කියලා ඔයාට තේරෙන්නේ නෑනේ.ඒ වෙලාවට අපි කතා කරන දේ අපිටම ඇහෙන්නේ නෑ. -1943 මාර්තු 10-

අන්තර්ජාලයෙන් ලබාගත් රහස්  නිවසේ  ත්‍රිමාණ වීඩියෝ පටය.

http://www.annefrank.org/en/Subsites/Home/

පොත් රාක්කයක් පිටුපස සැඟවුණු රහසක්..??

‘රහස් නිවස හා එහි ජීවිතය’ ලිපියේ   පළමු ඡායාරූපයේ ඇති දොරවල් තුනෙන් වම්පස ඇති දොරෙන් ඉහල  මාලයට ඇත්තේ පඩි පෙලකි.රහස් නිවසේ නිවැසියන් වෙත ආ ඔවුන්ගේ උදව්කරුවන් පහල මාලයේ සිට ඉහලට නගින්නට පමණක් භාවිතා කල  මේ පඩි පෙලෙන් පහල  ගබඩාවේ වැඩකරන සේවකයකු නිකමටවත් ඉහල  මාලයට විත් මේ කුඩා දොරින් ඇතුලට එබී බලන්නට සිතුවොත්..?? සියලු රහස් එලි වනු ඇත.

ඒ පුංචි දොර පිටි පස්සේ කාමර ගොඩාක් ඇති කියල නම් කවුරුත්ම සැක කරන එකක් නෑ. දොර ඇරපු ගමන් තියන්නේ පුංචි පඩියක්. ඊට පස්සේ පඩිපෙල.-1942 ජූලි 9-

දෙවන මහලට ගොඩ වූ විගස  ඉතා පටු කොරිඩෝවේ  ඉදිරිපසින් ඈත වූ මේ දොර ඈන්ලා යන විටත් තිබුනේ දෙවන මහලට එන ඕනෑම කෙනෙකුට පෙනෙන ලෙසයි.

දැන් නම්  අපේ රහස් නිවස සැබෑම රහසක් වෙලා.මිස්ටර් කුග්ලර්ට  තමා ඉස්සෙල්ලම හිතුනේ ගෙදරට ඇතුල්වෙන මේ දොර ඉස්සරහින් පොත් රාක්කයක් හදන්න ඕනේ කියලා.මිස්ටර් වොයිස්කූලර්,බෙප්ගේ තාත්තාවත් මේ රහසට එකතු කරගන්න අපිට සිදුඋනා.එයා තමයි පොත් රාක්කය හදලා ඒක දොරට ඉස්සරහින් හයි කලේ.-1942 අගෝස්තු 21-
ඉන් සති කීපයකට පසුව  හදිසියේම පොත් රාක්කයට ඉදිරියෙන් මිටියකින් පහර දෙන හඬක් ඇසෙන්නට විය.සියල්ලන්ම භයෙන් සුදුමැලිව නිහඬව බලා සිටින්නට විය.
ටික වේලාවකින් දොර තල්ලු කරන්න හදන  ශබ්දයක්  ඇහෙන්න පටන් ගත්තා.අපේ අවසානය ලංවෙලා කියලා මට හිතුනා.ඒත්  මොහොතකින් ‘දොර අරින්න ඒ මං ..’කියන මිස්ටර් ක්ලීමන්ගේ කට හඬ ඇහුනා.මට හුස්ම වැටුනේ එතකොටයි.1942-ඔක්තෝබර් 20-

තවත් දිනයකදී උදව් කරුවන් ඉතා අපහසුවෙන් බෝංචි ගෝනි කීපයක් මිලදී ගන්නට සමත්වී තිබුණා.ඒවා මෙතැන සිට ඉහල අට්ටාලයට ගෙනියන්නට භාර වූයේ පීටර්ටයි.

ඉරිලා තිබුනේ නැති බෝංචි ගෝනි එකින් එක උඩට අරගෙන ගිය පීටර්, අවසන් ගෝනියත් අරගෙන පුංචි පඩිපෙළ දිගේ උඩට නැංගා.
ඒත්…පඩිපෙලේ මැදක් හරියේදි  ඒ ගෝනිය ඉරිලා දුඹුරු බෝංචි ඇට ගංවතුරක් වගේ,නෑ නෑ හිම කැට වර්ෂාවක් වගේ පඩිපෙළ දිගේ පහලට ගහගෙන ආවා.අපි දෙන්නම ගල් ගැහිලා මොහොතක් බලාගෙන හිටියා.මොකද රාත්තල් පනහක් විතර බර බෝංචි ඇට එක පාරටම බිම වැටෙද්දින් ආපු ශබ්දය පහල මාලයේ අයට අහස කඩාගෙන තමන්ගේ ඔලුව උඩට වැටෙනවා වගේ ශබ්දයක් ගේන බව අපි දෙන්නටම තේරුන නිසා.
ඒත් මොහොතකින්  මම හිටපු විදිය දැකලා පීටර්ට හොඳටම හිනා ගියා.බෝංචි ඇට ගොඩාක් මැද්දේ මම හරියට හිටගෙන හිටියේ මුහුද මැද  දූපතක ඉන්නවා වගේයි.-1942 නොවැම්බර්  9-

රහස් නිවස හා එහි ජීවිතය

මර්වෙඩ්ප්ලේයින් සිට  ප්‍රින්සෙන්ග්‍රාච්ට් කැනල් දක්වා වූ කිලෝමීටර් පහකට ආසන්න දුරක් තමා ඒ ආ ගමන ගැන ඇය මෙසේ ලීවාය.
ඇඳුමේ පැහැදිලිව පෙනෙන්නට තිබූ කහ තරුව නිසා ඒ උදෑසන අපිට උදව්වක් කරන්න බැරිවීම ගැන, මඟදි හම්බ උන අය ඇත්තටම දුක් වෙනවා කියලා මට එයාලගේ මූණු දැක්කාම හිතුනා -1942 ජූලි 9-
උදෑසනින්ම මියැප්  ගීස් සමඟ බයිසිකල් වලින්  පිටත් වූ මාගෝ ඒ වන විටත් ප්‍රින්සෙන්ග්‍රාච්ට් නිවසේ ඔවුන්  එනතුරු බලා සිටියාය.
ඇයට පිටු පසින් වූ නිවස එකම අවුල් ජාලයක් වූ බව ඈන් මෙසේ ලීවාය.
ගෙදර ආපු ගමන්ම පුංචි විවේකයක් වත් නොගෙන අපි වැඩ පටන් ගත්තා.මුළු දවසම පණ නැති වෙනකන්ම අස්පස් කරන,පිරිසිදු කරන  වැඩ ඇරෙන්න වෙන කිසිම දෙයක් හිතන්නවත් මට විවේකයක් ලැබුනේ නෑ.ඒත් එදා රෑ අපි පිරිසිදු  නිවසක, ඇඳන් වල  නින්දට ගියා.-1942 ජූලි 10-
පොලවට සවි කර ඇති ලී ශබ්ද නොකරමින් ඇවිදීමටත්,ඉතා සිහින් හඬින් කථා කිරීමටත් ඔවුන්ට සිදුවිය.දහවල් කාලයේ පහල මාලයේ ගබඩාවේ සේවය කරන අයට රහසින් සැඟ වෙන්නටත්,අසල්වාසීන්ගේ දෑසට හසුවීමෙන් වැලකෙන්නටත් ඉතා දැඩි වෙහෙසක් ගත යුතු විය.
නිවසින් පිටත ලෝකය ගැන ඔවුන් දැනගත්තේ උදව් කාරයන් ගෙන එන පොත් හා පුවත් පත් මඟිනි.ඈන්ගේ ලෝකය අට්ටාලයේ ජනේලයෙන් ඇයට පෙනෙන චෙස්නට් ගසටත්,නිල් අහසටත්,වෙස්ටටෝරන් හෝරා කුළුනටත්,නිවසේ කාමර කීපයටත් සීමාවී තිබුණි.

ඉතා දීර්ඝවූ දහවල් කාලවලදී මාගෝ,ඈන් හා පීටර් වෑන් පෙල්ස් තම තමා ගෙනවිත් තිබූ පාසල් පොත් වල අධ්‍යයන කටයුතු කරමින් කාලය ගත කල අතර,මියැප් විසින් ගෙනවිත් දුන් පොත්  රාශියක් කියවුවෝය.ඊට අමතරව ඔවුන් ලඝු ලේඛණය හැදෑරීමද ආරම්භ කර තිබුණි.ළමුන් තිදෙනාටම පාසල් වැඩ සඳහා ඔටෝ ගේ උපකාර ලැබුණු අතර ඉක්මනින්ම යලි පාසල් යන්නට හැකි වනු ඇතැයි ඔවුන් මහත් බලාපොරොත්තු තබාගෙන සිටියහ. කෙසේ වූවද කුඩා නිවසක සිරවී ගෙවන මේ රහස් ජීවිතය ඉතා අසීරු බව සියල්ලන්ටම වැටහී යමින් තිබුණි.
මව හා නිතරම වාදයට පැටළුණු ඈන්,සමඟ මාගෝ  සුපුරුදු පරිදි  නිතරම උරණ වූවාය.ඕනැම විටෙක ඕනෑම කෙනෙකු හා වාදයකට ඇගේ ළඟ වචන තිබුණි.
ඇගේ සිත රහසින් පෙලූ මේ සිදුවීම් ඇය දින පොතේ ලියන්නේ මෙහෙමයි.
මාගොයි පීටරුයි ඔය කියන තරම් ඇත්තටම හොඳද??දෙන්නම හරිම නිහඬයි..ඒක නිසා ඒ ගොල්ලොත් එක්ක බලද්දින්  මාව පේන්නේ ලොකු කලබලයක් වගේ.මට හැම වෙලාවෙම ඇහෙන්නේ’මාගොයි පීටරුයි කොයි වෙලාවකවත් ඔහොම නෑ.ඇයි ඔයාට බැරි අක්කා වගේ  ඉන්න’.මට නම් ඒ කථාව පෙන්නන්න බෑ.-1943 පෙබරවාරි 05-

~මතු සම්බන්ධයි~

1942 ජූනි 12 වෙනි සිකුරාදා

ඈන් ලියා අප කියවූ ඇගේ ආදරණීය දිනපොත තමන්ගේ දහතුන් වන උපන්දිනය දා දෙමාපියන්ගේ තිළිණය ලෙසින් ඇය අතට පත්වන්නේ ඒ උදෑසනයි.රතු හා සුදු කොටු සහිත රෙදි  කවරයකින් යුතුවූ මේ දින පොත ඇය එදින ලද සුවිශේෂතම තෑග්ග වූවා සේම, මෙහි ලියවෙන දෑ යුද්ධයකදී ජන සමාජය කොතරම් පීඩාවකට පත් වන්නේද යන්න  උදාහරණ සහිතව ලෝකයට  පෙන්වාදෙන වැදගත් සාධකයක් වනු ඇතැයි, එදා ඈන් වත් ඇගේ දෙමාපියන්වත් නිකමට වත් නොසිතන්නට ඇති.

තම අලුත් මිතුරාට ‘කිටී’ යැයි නම් තැබූ ඇය එදිනම දින පොතේ පළමු සටහනද තැබුවාය. “මෙච්චර දවස්  මට කිසිම කෙනෙක් විශ්වාස කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක නිසා  ඔයා ගැන විශ්වාස කරලා, හැමදේම ඔයාට  කියන්න  පුළුවන් වෙයි කියලා මම  බලාපොරොත්තු  වෙනවා. ඔයා මට මගේ හිත සනස ගන්න උදව්වෙන  හොඳ යාලුවෙක් වෙයි කියලත් මම හිතනවා.”  -ඈන් ෆ්‍රෑන්ක්-

ජූනි 14 වන ඉරිදා පටන්,එදිනෙදා ජීවිතයේ සිදුවෙන සිදුවීමුත් තමන්ට අන් අය ගැන සිතෙන දේත්, තමාගේ පාසැලත් මිතුරනුත් පිළිබඳව ඉඩ කඩ ලැබෙන අයුරින් ඇය දින පොතේ  සටහන් කර තැබුවාය.
යුදෙව්වන්ට අයිති ව්‍යාපාර රජයට පවරා ගැනීමේ අවධානමෙන් ගැලවෙන්නට ඇගේ පියා සිය ව්‍යාපාර වල අයිතිය  1941 දී වික්ටර් කුග්ලර්ටත්[Victor Kugler] ජොහැනස්  ක්ලීමන්ටත් [Johanes Kleiman]  පවරා දී  තිබුණේය.
ඒ හේතුවෙන් ඔහු දහවල් දවස පුරාම නිවසේ ගත කලේය.එය ඉතා අසීරු කටයුත්තකැයිද සිය පියා ඉන් දැඩි ලෙස සිත් වේදනාවට පත් වී ඇතැයිද සිතූ ඈන් ඒ ගැන පියා හා කතා බහ කලාය.
1942  ජූලි  5 වන ඉරිදා ඇය දින පොතේ ඒ ගැන මෙලෙස සටහන් තබන්නීය.
ටික දවසකට කලින් අපිට හැංගිලා ජීවත්වෙන්න සිද්ධ වෙන්නත් පුළුවන් කියලා
තාත්තා මාත් එක්ක කිව්වා.මේ ගෙවන ජීවිතෙන් ඈත්වෙලා තනියම ඉන්න එක අපිට  අමාරු වෙන්න පුලුවන්..,
ඒත් ඇයි මේ හදිසියේ..??  මම ඇහුවා.ඈන්…, අපිට අවුරුද්දකට විතර ඕනෙ වෙන ඇඳුම්, කෑම බීම මම වෙන තැනකට යැව්වා.ජර්මන් කාරයෝ අපිව අල්ල ගන්නකම් හරි,අපේ දේවල් උදුර ගන්නකම් හරි බලා ගෙන ඉන්න ඕනේ නෑනේ..අපි කැමැත්තෙන්ම පිටවෙලා යමු.
ඒත් කවදද ?? මට ඇත්තටම බය හිතුන නිසා මම හොඳටම කලබල උනා.
බයවෙන්න එපා.හැමදේම ලැස්ති කරන්නම්.එතකන් ඔයා සතුටින් ජීවත් වෙන්න.තාත්තා කිව්වේ එච්චරයි.
අනතුරු ඇඟවීම සත්‍යයක් බව පසක් කරමින් එදාම හවස වැරදී යාම් ඇරඹෙන්නට විය.  සවස් වරුව විවේකයෙන් ගත කරමින් සිටි ඈන් වෙත කලබලයෙන් දිව ආ මාගෝ,  කනට කොඳුරා කියූ දෙයින් ඇය වික්ෂිප්ත විය. ‘තාත්තට එස් එස් වලින් එන්න කියලා පණිවිඩයක් ලැබිලා.’
සියල්ල  නොදැන සිටි මුත් ඒ පණිවිඩය අවසානය වෙත  කල ඇරයුමක් බව  වටහා ගන්නට ඇය මොහොතකින් සමත් වූවාය. ටික වේලාවක් මං දිහා බලා ගෙන හිටපු මාගෝ කැඳවීම පියාට නොව තමාට බව කිව්වා.මාගෝට වයස 16 යි, ඒ වයසේ අයත් උන් අරන් යනවද ?? ඇත්තටම, තනියම.මට හොඳටම බය හිතුනා. මම දන්නෙම නැතුව මට ඇඬුණා. -1942 ජූලි 8-
ජූලි 16 වනදා තෙක් නිවසේම රැඳී සිටීමට සිතා සිටිමුත්, මාගෝ එස් එස් හමුදා වෙතින් ලද හදිසි කැඳවීමෙන් පසුව සැඟවී යාම පසුදාම සිදුකල යුතු බව දෙමාපියන් තීරණය කරන්නට ඇත.
ගෙවුනු කලබලකාරී  දින තුන ගැන සියලුම තොරතුරු සටහන් කරමින් ඇය තවදුරටත් මෙසේ ලියන්නීය.
පහුවදා උදේ පාන්දරම අම්මා මාව ඇහැරෙව්වා.වසර ගණනාවක් ජීවත් වූ නිවස අතහැර යන්නට කාලය එළැඹ තිබිණි.

අපි අපිට පුළුවන් තරම් ඇඳුම් ඇඳ ගත්තා.එතකොට අපිට ඇඳුම් ගොඩක් අරගෙන යන්න පුළුවන්නේ.මොකද මේ වගේ ගමනකදී ඇඳුම් පිරුණු සූට්කේස් එකක් අරගෙන පාරට බහින්න පුළුවන් කමක් නෑනේ.උදේ හතයි තිහට අපි ගෙදරින් පිට උනා..-1942 ජූලි 08-
තමන් සැඟවෙන්නට යන තැන ඒ  වනතුරුත් ඈන් දැන සිටියේ නැත.
‘යුදෙව්වන්ට පොදු ප්‍රවාහන සේවා පාවිච්චිය තහනම් කරලා තිබූනා,ඒ වගේමයි අපේ බයිසිකලුත් අපි බාරදීලයි තිබුණේ.ඒ නිසා අපි පයින්ම ඇවිදගෙන ගියා.-1942 ජූලි 09-
සැඟවෙන ස්ථානය සිය පියාගේ ප්‍රින්සෙන්ග්‍රාන්ච්ට් කාර්යාලයේ පිටුපස ඇනෙක්සිය  බව ඈන් දැන ගන්නේ ඒ අතරතුරයි.

~මතු සම්බන්ධයි~

ඈන් ෆ්‍රෑන්ක් සොයා ගියෙමි

1929  ජූනි  12 වෙනිදා ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් ඇම් මෑන්[Frankfurt Am Main] නගරයේදී  පවුලේ දෙවන දියණිය ලෙස  ඈන් ෆ්‍රෑන්ක් [Anneliese Frank]උපත ලැබුවාය. ඔටෝ ෆ්‍රැන්ක් [Otto Frank] ඇගේ පියා වූ අතර මව එඩිත් ෆ්‍රෑන්ක් හෝලැන්ඩර් [Edith Frank-Hollaender]වූවාය.ඈන්ට වඩා වසර තුනකින් වැඩිමල් ඇගේ සොයුරිය මාර්ගෝ ෆ්‍රෑන්ක්ය[Margot Frank].ඔවුන් යුදෙව් ජාතිකයන් වූහ.

1933 දී  ජනවාරි මාසයේදී  හිට්ලර් ජර්මානු පාලකයා ලෙස බලයට පත්විය.1933 මාර්තු 13 වෙනිදා ෆ්‍රෑන්ක්ෆර්ට් නගර සභාවේ ඡන්දය පැවැත්වූ අතර හිට්ලර්ගේ නාසි පක්ෂය ජනතාවගේ වැඩි ඡන්දයෙන් බලයට පත් වුනි.දිළිඳු කමින් හා රැකියා විරහිත භාවය ඉහල යමින් තිබුණු දුෂ්කර කාලයකට ජර්මානුවන් මුහුණ දෙමින් සිටියහ.මේ තත්වයට වගකිව යුත්තේ යුදෙව්වන් යැයි කියමින් හිට්ලර්  යුදෙව්වන් කොන් කිරීමටත්වද හිංසා කිරීමටත් ආරම්භ කර තිබුණි.විදුලිය කැවූ කම්බි වැටවල් සහිත වෙන් කර තැබීමේ කඳවුරු හෙමින් සීරුවේම ඉදිවෙමින් පැවතුනි.

මෙසේ  යුදෙව්වන්ට එරෙහිව හිට්ලර්ගේ පාලනයෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේ ෆ්‍රැන්ක් පවුල ඕලන්ද දේශ සීමාවේ පිහිටි ජර්මන් නගරයක් වූ ආචන්[Aachen] හී පදිංචියට ගියහ. ඒ අතර නෙදර්ලන්තයේ සිය ව්‍යාපාරික කටයුතු ඇරඹීමේ බලාපොරොත්තුවෙන් ඔටෝ ෆ්‍රෑන්ක් ඇම්ස්ටර්ඩෑම් නගරය බලා පිටත්ව ගියේය.

ඒ වසරේම දෙසැම්බරයේ වැඩිමහල් දියණිය  කැටුව ඈන්ගේ මව ආචන් හී සිට ඇම්ස්ටර්ඩෑම් නගරයේ පදිංචියට ගියාය. 1934 පෙබරවාරි මාසයේදී එතෙක් සිය මිත්තණිය හා ආචන් හී සිටි ඈන්ද  මර්වෙඩ්ප්ලේන්හී සිය පවුල  සමඟ එක්වූවාය.රහස් ඇනෙක්සියේ සැඟවෙන්නට යනතුරු ඔවුන් ජීවත් උනේ ඒ නිවසේයි.ඒ වසරේම සිය පාසල් ගමන ඇරඹූ ඈන් සොයුරියගේම පාසලේ ප්‍රාථමික අංශයට ඇතුලත් වූවාය.

කාලය සෙමින් ගෙවී යද්දී 1940 මැයි 10 වනදා රොටර්ඩෑම් නගරයට බෝම්බ හෙලමින් හිට්ලර්ගේ  නාසි හමුදා නෙදර්ලන්තය ආක්‍රමණය කලා.වසර අවසාන වන විට රටේ සියලු පුර වැසියන් ලියාපදිංචි කල පාලකයින් හදුනාගැනිමේ කාඩ් පතක්ද නිකුත් කරන ලදී.යුදෙව්වන්ගේ හදුනාගැනීමේ කාඩ් පතේ ජේ ‘J’ අකුර සටහන් කරන ලදි.

1940 දෙසැම්බර් පලවෙනිදා ඔටෝගේ ව්‍යාපාරික ස්ථානය ප්‍රින්සෙන්ග්‍රාච්ට් 263 ලිපිනයේ ඇති ගොඩනැගිල්ලට ගෙන යන ලදී.පසු කලෙක ඈන් ඇතුලු පවුලට දෙවසරකටත් අධික කාලයක් රහසේ සැඟව සිටින්නට උපකාරී වුයේ මේ කාර්යාලයේ පිටුපසින් තිබූ ඇනෙක්සියයි.

1942 මැයි මාසයේ සිට අවුරුදු හයට වැඩි සෑම යුදෙව් ජාතිකයෙක්ම ඩේවිඩ්ගේ තරුව ලෙස හැඳින්වූ යුදෙව්වා  යනුවෙන් සඳහන් කහ පැහැති තරුවක් පැලදීම අනිවාර්ය කෙරුණි.කොන් කිරීම් ස්ථිර වෙමින්  තිබුනි.

මරණයේ සෙවනැලි රැඳි බිමක් සොයා ගියෙමි….

අද ඉදලා  මම මේ අවකාශයේ ලියන්නේ මම ආගිය තැන් වල විස්තර ටිකක්..ඡායාරූප දෙක තුනකුත් එකතුකරන්න  හිතාගෙන ඉන්නවා.
අද ලියන්න යන්නේ  සිර කඳවුරක් ගැන. බය වෙන්න එපා මම මේ කියන්න යන්නේ අපේ රටේ ඒවා ගැන නෙවේ..
එහෙනම් කොහෙද..?
දෙවනි ලෝක යුද්දේ කාලෙදි ජර්මනියෙ තිබුන ඒවා ගැන.
දැන් ඉතින් එපා වෙනකන් ඕක කියවයි හැමදාම නේද..?
ඔව් ඉතින්..!!
ඇහැට පෙනිලා තියන දේවල් ගැන කථා කරන එක හොඳයිනේ ඉස්සෙල්ලාම.
අද කියන්න යන්නේ බුචන්වාල්ඩ් දේශපාලන  සිර කදවුර ගැනයි.  {Buchenwald concentration camp}
කොහේද..? මේ කඳවුර තියන්නේ.
[අහ්..!හරි පුදුම වැඩක් නේ. බර්ලින් නගරයේ ඉදලා බුචන්වාල්ඩ් කදවුරට යන අඩුම දුරක් හා අඩුම කාලයක් වැයවෙන පාරත් නම්  කරලා තියන්නේ A9 කියලනේ.]
හරි හරි දැන් විස්තරේට යමු..

බර්ලින් නගරයේ ඉදලා නිරිත දිගින් තමා කඳවුර පිහිටලා තියන්නේ.
A – අකුරෙන් පේන්නේ බර්ලින් නගරය.
B – අකුරෙන් පේන්නෙ බුචන්වාල්ඩ් කඳවුර.
මේ පෙන්නලා තියන්නේ.. මේ නගර දෙක අතර තියන අඩුම දුර ඒ 294Km. මේ දුර යන්න ගතවෙන කාලය තමා  සාමාන්‍යයෙන් පැය තුනක් විතර.
සන්ධීය පලාත-තුරින්ගියාව
Federal  state-Thuringen(Thuringia)
නගරය- වෙයිමර්
City-Weimar
වෙයිමර් නගරයේ එටර්ස් කියන කන්ද මුදුනේ[ Etter Mountain] තමා මේ කඳවුර තියන්නේ.
මේ කඳවුර ආරම්භ කරලා තියන්නේ 1937 ජූලි මාසේ.

කඳවුරට යන පාර පටන් ගන්නේ මෙන්න මෙතනින්.මේකට කියන්නේ BLOOD  ROAD  එහෙමත් නැත්තන්  රුධිර මාවත කියලලු.මොකද?? මේ පාර හදන්න ශ්‍රමය වැය කරපු කඳවුරේ හිටිය සිරකරුවන් බොහෝ දෙනෙක් මියගිහින් තියනවා,පාර හදන අතරතුරේදී වගේම..මරා දැමීමෙනුත්. මෙතනින් තමා ප්‍රධාන පාරෙන් කඳවුරු සංකීර්ණයට හැරෙන්නේ.
ඊට පස්සේ අපිට හම්බවෙන වැදගත්ම තැන තමා පැරණි දුම්රිය ස්ථානය.අද එතන දුම්රිය ස්ථානයක් නම් නැහැ . තියන්නේ දුම්රිය වේදිකාව විතරයි. මේ තමා ඒ දුම්රිය  වේදිකාව  අද තියන හැටි. හරිම පාලු සැබෑවටම මරණයේ වේදිකාවක් එය නම්. මම ඇයි එහෙම කියන්නේ. මේ සිරකදවුරට ආපු සියලුම සිරකරුවන්..දැන හෝ නොදැන තමන්ගේ අවසානය කරා මේ වේදිකාවෙදි කෝච්චියකින් බැහැලා කඳවුරට ගියා.

ඈතින් පේන ගස් පැත්තේ ඉදලා පහල  වෙයිමර් නගරයෙන් ආපු දුම්රිය, මම මේ පින්තූරය ගන්න හිටගත්ත හරියෙන් නවතින්න ඇති. ඊට පස්සේ  මරණය දෝතින්ම බදාගත්තු අහිංසක යුදෙව්වන් දහස් ගානක් මේ වේදිකාවෙදි පෝලිම් ගස්සවා කදවුරට රැගෙන ගිහිං තියනවා.ඒ අතරිනුත් ඉතාමත් සුවිශේශී  කෙනෙකුත්  මට මතක් වෙනවා. ඒ තමයි ‘සකාරියස් ජන්කොශ්කි’ කියන පෝලන්ත ජාතිකයා පුංචි සූට්කේස් එකක සඟවාගෙන කඳවුරට රැගෙන ආවා යැයි  කියන..දෙමාපින් අහිමි  ‘ස්ටීවන් සිලියැක්’  නම් පුංචි දරුවා.කඳවුරේ  සිරකරුවන්ගේ  ඕනෙකම නිසාම ඒ දරුවා නම්..ජීවිතේ බේරාගත්තා කියල තමයි බෲනෝ ආපිට්ස්  (Bruno  Apitz)  මේ කඳවුරේ තමන් ගෙවපු ජීවිතේ ගැන ලියපු  සුප්‍රසිද්ධ නව කථාව ‘Naked  Among  Wolves’  එහෙමත් නැත්තම්  ‘වෘකයන් අතර නග්නව’  පොතේදී   කියලා  තියන්නේ.
මේ තියන්නේ එදා 1944 ශිශිර ඍතුව අවසානයේදී  එස්. එස්. හමුදාවන් ලබාගත් ඡායාරූපයක්.අද මෙය සිටුවා ඇති තැන ඉදලම තමා එදා මේ ඡායාරූපය අරගෙන තියන්නේත්.

Next Newer Entries