පළිඟු බිඳුනු රාත්‍රිය

1933 මැයි 10 වනදා බර්ලීනය ප්‍රමුඛ රට පුරා නගර වලදී නාසිවාදයට විරුද්ධ මතවාදයන් අලලා ලියවුනු පොත් ගිනි තැබීමක් සිදුවිය.ජර්මානු ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවූ සිසුන් රැස්වීම් ස්ථානවලදී, සිසු සිසුවියන් විසින් කොල්ලකන ලද, තහනම් කරන ලද පොත් ගිනි උදුන් තුළට විසි කළේ සජීවී සංගීතය, ගායනය, “ගිනි දිවුරුම්” සහ ගායනා ඇතුළත් මහත් ප්‍රීතිමත් උත්සවයක් සමඟිනි.

ජර්මානු සිසුන් සහ නාසි එස් ඒ සාමාජිකයින් බර්ලිනයේ ලිංගික පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය මැග්නස් හර්ෂ්ෆෙල්ඩ්ගේ පුස්තකාලයෙන් කොල්ල කෑ පොත් මෙන්ම ඇල්බට් අයින්ස්ටයින්, කාල් මාක්ස් ,ෆ්‍රාන්ස් කෆ්කා, හර්මන් හෙසර් වැනි අයගේ පොත් පවා මෙහිදී පුලුස්සා දැමිණි.

මේ කණගාටුදායක සිදුවීම අනුස්මරණය කරනු වස් බර්ලින් අගනුවර Mitte Bebelplatz හී Opera house චතුරස්‍රයේ ‘The empty library’ නමින් Micha Ullman විසින් වීදුරුවකින් වසා දැමුණු පොත් රාක්ක සහිත සමරුවක්ද නිර්මාණය කර ඇත.මේ චතුරස්‍රයේ එක් පසෙක සුප්‍රසිද්ධ Humboldt විශ්ව විද්‍යාලයත් St.Hedwigs cathedralයත් ,නගරයේ ඔපෙරා මධ්‍යස්ථානයත් පිහිටා ඇත.

-බර්ලීනයේ තොල් සායම් කූර-

මේ බර්ලීනයේ Kaiser-Wilhelm අනුස්මරණ පල්ලිය..

1943 දෙවන ලෝක යුද්ධය අතරතුර එල්ලවුණු ගුවන් ප්රහාරයකින් විනාශයට පත්වුණු මේ පල්ලිය නැවත පෙර පරිදි ප්‍රති සංස්කරණය කරලා නෑ.1891 ඉදිකිරීම ආරම්භ කල මේ පල්ලියේ නිර්මාණ ශිල්පියා වෙන්නේ Franz Schwechten . අලුතෙන් ඉදිකිරීම් කරලා තියන කොටසේ නිර්මාණ ශිල්පියා Egon Eiermann. ඒ 1959-1963 කාලයේදිය.

මේ Kaiser wilhelm පල්ලිය අද බටහිර බර්ලිනයේ ප්‍රසිද්ධ සලකුණක් වන අතර එය “හිස් දත” කියන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනවා.

-අවාසනාවන්ත ගෘහ නිර්මාණ ශිල්පියා-

1841
1900
1951
2004
2004
2004

තමාගේ මව් රටේ තමන් සැලසුම් කර ඉදි කල වැදගත් නිර්මාණ දෙකම බෝම්බ ප්‍රහාර වලින් විනාශ වූ නිර්මාණ ශිල්පියෙක් තමා Franz Schwechten. ඒ දෙවන ලෝක යුද්ධයට පෙර ජර්මනියේ විශාලතම දුම්රිය ස්ථානය වූ බර්ලින් Anhalter සහ කයිසර් විල්හෙම් අනුස්මරණ පල්ලියයි.ජර්මනියේ බටහිරට වෙන්නට බෙල්ජියම් සහ නෙදර්ලන්ත දේශ සීමාව ආසන්නයේ කොලෝන් (Cologne ) නගරයේදී 1841 අගෝස්තු 12 වනදා උපත ලැබූ Franz Heinrich Schwechten 1839 ඉදිකර පවත්වාගෙන ගිය ජර්මනියේ බර්ලින්හී ප්‍රධාන දුම්රිය ස්ථානයේ විශාල කර යලි ඉදිකිරීමේ සැලසුම නිර්මාණය කිරීමේ අවස්ථාව හිමිකර ගත්තේය.

මුල් දුම්රිය ස්ථානය තැනීමේ කටයුතු 1839 අප්රේල් 15 දින ආරම්භ වූ අතර 19 සියවසේ රට පුරා ගමනාගමනය පහසු කිරීම සඳහා දුම්රිය මාර්ග පුලුල් කිරීමේදී Anhalter ප්‍රාන්තය වෙත යන දුම්රිය මාර්ගයේ බර්ලින් පර්යන්තය යන අරුතින් Berlin Anhalter bahnhof නමින් නම් කර 1841 ජූලි 1 දින Juterborg දක්වා විවෘත කරන ලදී.

1872 දී ගෘහ නිර්මාණ ශිල්පී ෆ්‍රාන්ස් හෙන්රිච් ෂ්වෙච්ටන් විසින් නව දුම්රිය ස්ථානය සැලසුම් කරන ලද අතර එය ජර්මනියේ විශාලතම දුම්රිය ස්ථානය වූ අතර එකල යුරෝපා මහද්වීපයේ තිබූ විශාලතම දුම්රිය ස්ථානයද විය. 1874 දී තාවකාලික දුම්රිය ස්ථානයක් විවෘත කර පැරණි ගොඩනැගිල්ල කඩා දැමුණු අතර නව පර්යන්තය ඉදිකිරීම 1876 දී ආරම්භ කරන ලදී. 1880 ජූනි 15 දින එය විවෘත කළේ පළමුවන කයිසර් විල්හෙල්ම් සහ චාන්සලර් ඔටෝ වොන් බිස්මාර්ක් විසිනි.

දෙවන ලෝක යුද්ධ සමයේ, 1941 සහ 1945 අතර කාලය තුළ බර්ලින් යුදෙව්වන් 55,000 ක් පමණ පිටුවහල් කිරීම සඳහා භාවිතා කරන ලද දුම්රිය ස්ථාන තුනෙන් එකක් ඇන්හාල්ටර් බාන්හොෆ් වූ අතර එය නගරයේ මුළු යුදෙව් ජනගහනයෙන් තුනෙන් එකක් පමණ විය. ඇන්හාල්ටර් බාන්හොෆ් සිට යුදෙව්වන් 9600 ක් එකවර දුම්රිය 116 ක් භාවිතා කරමින් 50 සිට 100 දක්වා කණ්ඩායම් වශයෙන් පිටත් කර තිබූ අතර භාණ්ඩ ප්‍රවාහන මැදිරි භාවිතා කළ වෙනත් පිටුවහල් කිරීම් වලට වෙනස්ව, සාමාන්‍ය කාල සටහනට අනුව ධාවනය වන සාමාන්‍ය දුම්රියන් සමඟ යුදෙව්වන් සාමාන්‍ය මගී දුම්රියෙන් රැගෙන යන ලදී. ඒ සියලුම පිටුවහල් කිරීම් චෙකොස්ලොවැකියාවේ තෙරෙසින්ස්ටැඩ් කඳවුර වෙත විය.

බර්ලිනයේ බොහෝ ප්‍රදේශ මෙන් ඇන්හාල්ටර් බාන්හොෆ් ද බ්‍රිතාන්‍ය , ඇමරිකානු සහ සෝවියට් කාලතුවක්කු ප්‍රහාර වලට ලක්වු අතර 1943 නොවැම්බර් 23 වෙනිදා රාත්‍රියේ සිදු වූ දැවැන්ත බෝම්බ ප්‍රහාරය දුම්රිය ස්ථානයට දැඩි ලෙස බලපෑ අතර දුම්රිය ස්ථානයේ යටිතල පහසුකම් වලට දැඩි හානි සිදුවිය. ඉන් පසුව ප්‍රාදේශීය සේවාවන් කිහිපයක් පමණක් ක්‍රියාත්මක කළ හැකිවූ අතර දිගු දුර දුම්රිය ගමන් වාර නවතා දැමිණි. 1945 පෙබරවාරි 3 සහ පෙබරවාරි 26 දිනවල සිදුවූ තවත් ප්‍රහාර දෙකකින් පර්යන්තයේ වහලයේ විශාල කොටසක් විනාශ විය.

යුද්ධයෙන් පසුව අලුත්වැඩියාවන් සිදුකර 1946 ජුනි 2 දින උතුරු-දකුණු සම්බන්ධක ඛණ්ඩ දුම්රිය සේවාව නැවත ආරම්භ විය. 1948 මැයි දක්වා අළුත්වැඩියා කටයුතු සම්පුර්ණ නොවූවත් 1947 නොවැම්බර් 16 දින පූර්ණ සේවා නැවත ආරම්භ විය. මෙම දුම්රිය ස්ථානය සේවා සැපයීමෙන් ඉවත් කරන්නට සිදුවූයේ බර්ලිනය සහ සමස්ථ ජර්මනිය පාලනය කළ මිත්‍ර පාක්ෂික බලවතුන් අතර සබඳතා වේගයෙන් බිඳවැටීමයි. ඇන්හාල්ටර් බාන්හොෆ් වෙත ගමන් වාර පවත්වන්නේ සෝවියට් පාලනය යටතේ පැවති නැගෙනහිර ජර්මනියේ සිට එන දුම්රිය වූ අතර පර්යන්තය බටහිර බර්ලිනයේ තිබූ නිසා සෝවියට් දේශය 1952 මැයි 17 දින රුසියානු අංශයේ ඔස්ට්බාන්හෝෆ් වෙත ඉතිරි වූ සියළුම දුම්රිය මාරු කළේය. දුම්රිය ගමන්වාර නැවැත්වීම නිසා සේවා සැපයීමක් නොමැතිව ඇන්හාල්ටර් බාන්හොෆ් වසා දමන ලදී.

භාවිතයෙන් ඉවත් කර වසර අටකටත් වැඩි කාලයක් අබලන් වීමෙන් පසු, සමහර පීලි සහ සංඥා තවමත් ස්ථානගතව තිබියදී 1960 අගෝස්තු 25 දා දුම්රිය ස්ථානය කඩා දැමීම ආරම්භ කල අතර පැනනැගුණු මහජන විරෝධයද නොතකා අගෝස්තු 27 වනදා වන විට කුඩා කොටසක් පමණක් ඉතිරි කර කඩා දැමීම අවසන් කරන ලදී.

~මොසාර්ට් නම් සංගීතඥයා~

පද රචකයකු, ගුරුවරයෙකු හා ප්‍රසිද්ධ වයලින් වාදකයකු වූ ලියෝපෝල් මොසාර්ට් [Leopold Mozart ] හා ඇනා මරියා මොසාර්ට්[Anna Maria Mozart] ගේ දරුවන් සත් දෙනෙකු අතරින් ජීවත් වීමට වරම් ලැබූ දරුවන් දෙදෙනාගෙන් බාලයා ලෙස 1756 ජනවාරි 27 වනදා ජර්මනිය හා ඔස්ට්‍රියානු දේශසීමාව අසල ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් [Salzburg] නම් ගම්මානයේදී  වුල්ෆ්ගැන්ග් අමඩියුස් මොසාර්ට් [Wolfgang Amadeus Mozart ] මෙලොව එළිය දුටුවේය.

DSCI3568

DSCI3570

සැල්ස්බර්ග් හි මොසාර්ට් උපන් නිවස

DSCI3575

 

වයස අවුරුදු 3 සිට පියා සමඟ පියානෝ වාදනය පුහුණුවීම ආරම්භ කල මොසාර්ට් වයස අවුරුදු 5දී සිය පලමු සංගීත ස්වර ප්‍රස්ථාරය නිර්මාණය කළේය. අවුරුදු අටේදි සිය පළමු සංධ්වනිය ලියා නිමකල මොසාර්ට් වයලින් වාදනයේද දස්කම් පෙන්වීය.මොසාර්ට්ගේ පළමු සංධ්වනියේ  නාද මාලාව ආශ්‍රයෙන් බේඩ්න් පවල් සාමිවරයා ලියා බාලදක්ෂ කඳවුරු වලදී ගායනා කරන ‘ගින් ගැන් ගුලි ගුලි ‘ ගීතය ඉතා ජනප්‍රිය එකකි.
1762 දී බැවේරියාවේ මියුනිච් හීදි ඔවුන්ගේ පියා මොසාර්ට් හා ඔහුගේ සොයුරිය ඇනා සමඟ ළමා සංගීත ප්‍රසංගයක් පැවත්වීය. ඉන් පසුව ගෙවුණු වසර තුන හමාරක් තුල යුරෝපය පුරා සිය දරුවන් දෙදෙනාද රැගෙන යමින් පියා  ප්‍රසංග මාලාවක් පැවත්වීය.

800px-thumbnail

මොසාර්ට් පියා හා සොයුරිය සමඟ ප්‍රසංගයක් ඉදිරිපත් කරමින්
[ඡායාරූපය අන්තර්ජාලයෙනි]

1773 දී සැල්ස්බර්ග් හි ප්‍රාදේශීය පාලකයාගේ කාර්ය මණ්ඩලයේ සංගීතවේදියකු ලෙස සේවයට එක්වන මොසාර්ට් එහිදී ප්‍රාදේශීයේ කලාකාරයන් හා එක්ව කෙටි ඔපෙරාවන්,සංධ්වනි ආදිය නිර්මාණය කළේය. 1775 අප්‍රේල් සිට දෙසැම්බර් අතර කාලයේදී කොටස් පහකින් සමන්විත වයලින් වාද්‍ය ප්‍රසංගයක්ද ඔහු විසින් ලියා ඉදිරිපත් කරන ලදී.
1776 දී ඔහු යලිත් තමාගේ සුපුරුදු හා ප්‍රියතම අංශය වන පියානෝ වාදනයට එක්විය.
1775 අවසාන වන විට සැල්ස්බර්ග් රාජ්‍ය රඟහල වසා දැමුණු අතර,1777 දී ඔහු සිය රැකියාවෙන් ඉල්ලා අස්විය.නව රැකියාවක් හා සිය දක්ෂතාවයන්ට ඉඩ ප්‍රස්ථාව සොයමින් සිය පියා හා මැන්හෙයිම් වෙත සංක්‍රමණය  වූ මොසාර්ට් එකල මැන්හෙයිම් හි ජනප්‍රියව තිබූ වාදක කණ්ඩායමක සාමාජිකත්වය ලබා ගත්තේය.

DSCI3578DSCI3579

මැන්හෙයිම් සිට යලි වියානාව බලා පැමිණි මොසාර්ට් පියානෝ වාදකයෙකු ලෙස වියානාහි ජනප්‍රිය වන්නට විය.1778 ජූලි 3 වනදා මොසාර්ට් ගේ මව මිය ගිය අතර 1782 අගෝස්තු 4 වනදා මොසාර්ට් , කොන්ස්ටන්ස් වබර් Constanze Weber හා විවාහ විය. ඔවුන් දෙදෙනාගේ දරුවන් සය දෙනෙකු අතරින් දිගුකලක් ජීවත් වීමට වරම් ලැබුවේ දෙදෙනෙකු පමණි.

1787 දී තරුණ බිතෝවන් වියානාවට පැමිණ මොසාර්ට් මුණ ගැසුණු අතර ඔහුගෙන් පියානෝ වාදනය හැදෑරීම බිතෝවන්ගේ අරමුණ විය.

1791 අගෝස්තු මාසයේ සිය නවතම ඔපෙරාවේ අධික්ෂන කටයුතු සඳහා ප්‍රාග් නගරයට පැමිණෙන විටත් අසනීප වි සිටි මොසාර්ට් තමාට එහි වැඩ කටයුතු අවසන් කර ගැනීමට නොහැකිවෙතැයි කණගාටුවට පත් ව සිටියේය.
යලි වියානාව වෙත පැමිණි මොසාර්ට් යම් මානසික වියවුලක් පෙන්නුම් කල අතර තමාට යම් වස වර්ගයක් ශරීරගතවී ඇතැයිද තමා ඉතා ඉක්මනින් මිය යනු ඇතැයිද බිරිඳට ප්‍රකාශ කලේය.
සැප්තැම්බර් 30 වනදා එතෙක් කරමින් සිටි නිර්මාණයේ වැඩ කටයුතු අවසන් කර වේදිකා ගත කලේය.
නොවැම්බර් 30 වනදා වන විට මොසාර්ට් යලිත් දැඩි ලෙස රෝගී වූ අතර වමනය,ඉදිමීම වැනි රෝග ලක්ශන සහිතව සිටි නමුත් ඔහුගේ මරණයට හේතුව නිශ්චිතව සඳහන් නොවේ. දරුණු වකුගඩු රෝගයක්, වස ශරීර ගතවීමක් ,ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් යන හේතු ගණනාවක් ඒ පිළිබඳව සැක කෙරෙන අතර ඔහුගේ නිවසේදි 1791 දෙසැම්බර් පස්වනදා අවුරුදු තිස් පහේදී වුල්ෆ්ගැන්ග් අමඩියුස් මෝසාර්ට් මිය ගියේය.

සුදු රෝස ව්‍යාපාරයේ මතක සටහන්…

Image

ලිබරල් පක්ෂයේ දේශපාලඥයකු හා ෆෝර්ච්ටන්බර්ග්  [Forchtenberg]  නගර සභාවේ නගරාධිපති වූ රොබට් ෂෝල්ගේ දියණියක ලෙස  1921 මැයි 9 ස්ටුට්ගාර්ඩ් ආසන්නයේ ෆෝර්ච්ටන්බර්ග්  හීදී සය දෙනෙකුගෙන් යුත් පවුලක හතරවැනියාව  උපන් සොෆී මග්දලේනා ෂෝල්ට සිය පියාගේ ව්‍යාපාරික කටයුතු හේතුවෙන් 1930 දී ලුඩ්විස්බර්ග් නගරයටත්,ඉන් වසර දෙකකට පසුව 1932 දී උල්ම් නගරයටත් පදිංචිය මාරු කරන්නට සිදු විය.
සොෆී වයස 19දී  පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව උල්ම් නගරයේම ළදරු පාසල් ගුරුවරියක ලෙස සේවයට බැදුනාය.අනිවාර්ය යුධ සේවයේ  සය මසක කාලය අවසන 1942 මැයි මාසයේදී
ඇගේ වැඩිමල් සොහොයුරා, හෑන්ස් වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලැබූ  මියුනිච් විශ්ව විද්‍යාලයේම ජීව විද්‍යා අංශයට  ඇතුල් වූවාය.ඒ ජීව විද්‍යාව හා දර්ශන යන විෂයන් හැදෑරීම සඳහාය.

මියුනිච් විශ්ව විද්‍යාලයේදී  නාසි විරෝධී ‘සුදු රෝස’ ව්‍යපාරයට සිය සොයුරා වන හෑන්ස් සමඟ එක්වූ ඇය සොහොයුරා හා මිතුරන් එක්ව මුද්‍රණය කල නාසි විරෝධී පත්‍රිකා විශ්ව විද්‍යාලය තුලත් ඉන් පිටතත් බෙදා හැරීම සඳහා උදව් කලාය.

DSCI3497DSCI3501.JPG

අද මියුනිච් විශ්ව විද්‍යාලය.(ලුඩ්විග් මැක්සිමිලියන් වි.වි.)

1943 පෙබරවාරි 18 වනදා උදැසන සුදු රෝස ව්‍යාපාරයේ හයවන පත්‍රිකාව පිරවූ සූට්කේසයත් රැගෙන සිය සොයුරා සමඟ මියුනිච් විශ්ව විද්‍යාලයට ඇතුල්වූ සොෆී දේශන පැවත්වෙමින් තිබූ දේශන ශාලාවල වසා තිබූ දොරවල් අසල තමා අත තිබූ පත්‍රිකා  තැබුවාය.දේශන නිමාවන්නට පෙර නික්ම යන්නට හැරුනු ඇය දුටුවේ තවත් පත්‍රිකා කීපයක් තමාගේ සූට්කේසයේ ඉතිරිවී ඇති බවයි.ඒ වන විටත් තමා සිටි තුන්වන මහලේ සිට ඇය ඒවා පඩිපෙල පුරා විසුරුවා හරිනු විශ්ව විද්‍යාලීය සේවකයකු දුටුවේය.දේශන වලින් නික්ම යන සිසුන් අතරේ සැඟවී ගැලවී යන්නට ගත් උත්සාහය වලකමින් ගෙස්ටාපෝ නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්වු සොෆී සහ සොයුරා හෑන්ස් මියුනිච් හි පිහිටි ස්ටැඩෙල්හයිම් සිරගෙදර (Stadelheim Prison) රඳවනූ ලැබූ අතර..ඔවුන්ගේ මිතුරෙකු හා සුදු රෝස ව්‍යාපාරයේ තවත් සාමාජිකයෙකු වූ ක්‍රිස්ටෝපර් ප්‍රෝබ්ට්ස්ද [Christoph Probst] අත් අඩංගුවට ගැනුනි.

DSCI3487index

1.හෑන්ස් ෂෝල් 2.ක්‍රිස්ටෝපර් ප්‍රෝබ්ට්ස්ද [Christoph Probst]

1943 පෙබරවාරි 22වනදා අත් අඩංගුවට පත්ව දින හතරකට පසුව ජනතා අධිකරණය හමුවට පැමිණ වූ ඔවුන් තිදෙනාගේම හිස ගසා දැමීමට නියම කරනු ලදුව එදිනම සවස ස්ටැඩෙල්හයිම් සිරගෙදර ගිලටීනයේදී දඬූවම ක්‍රියාත්මක කරනු ලැබීය.

DSCI3534

අද ස්ටැඩෙල්හයිම් සිරගෙදර නාම පුවරුව

1942 හෑන්ස් ෂෝල් සමඟ එක්වූ ඇලෙක්සැන්ඩර් ෂ්මොරෙල්(Alexander Schmorell), මහාචාර්ය කර්ට් හර්බ්(Kurt Huber) සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් 1943 දී සිය පස් වන පත්‍රිකාව ‘සියලු ජර්මානුවන් වෙත කරන ආයාචනයක්’ යනුවෙන් ප්‍රකාශයට පත් කර ඔස්ට්‍රියානු නගර වල බෙදා හරින්නට භාර ගන්නා ලදී. ඊට අමතරව හෑන්ස් හා විල් ග්‍රාෆ් (Will Graf)සමඟ එක්ව මියුනිච් නගරයේ නිවාස බිත්ති වල ‘හිට්ලර් ඇදවැටෙයි’ හා ‘නිදහස’ යන වැකි ලියන්නටද එක්විය.
මිතුරන් අත් අඩංගුවට පත්වීමෙන් පසුව ස්විට්සර්ලන්තයට පැනයන්නට උත්සාහ ගනිද්දී 1943 පෙබරවාරි 24වනදා අත් අඩංගුවට පත්වූ ඇලෙක්සැන්ඩර් ෂ්මොරෙල් 1943 අප්‍රේල් 19 වනදා අධිකරණය හමුවට පමුණුවනු ලැබ මරණ දඬුවම පනවනු ලැබූ අතර 1943 ජූලි 13 වනදා මාහාචාර්ය කර්ට් හර්බ් සමඟ ස්ටැඩෙල්හයිම්  බන්ධනාගාරයේ ගිලටීනයේදී හිස ගසා මරාදමන ලදී.

1.ඇලෙක්සැන්ඩර් ෂ්මොරෙල්(Alexander Schmorell) 2.මහාචාර්ය කර්ට් හර්බ්(Kurt Huber)

 1943 පෙබරවාරි 18 වනදා මියුනිච් හීදී අත්අඩංගුවට පත්වූ විලී ග්‍රාෆ් (Willi Graf)1943 අප්‍රේල් 19වනදා මරණ දඬුවම නියම කරනු ලදුව ගෙස්ටාපෝ පොලිසිය මඟින් සය මසක් තිස්සේ රඳවාගෙන සුදු රෝස ව්‍යාපාරයට සම්බන්ද ඉතිරි අය පිලිබඳ තොරතුරු ලබා ගන්නට උත්සාහ ගත් අතර එකදු නමක් හෝ හෙලි නොකරමින් ඔවුන් රැක ගන්නට ග්‍රාෆ් සමත් විය. 1943 ඔක්තෝම්බර් 12 වනදා ස්ටැඩෙල්හයිම් බන්ධනාගාරයේ ගිලටීනයේදී හිස ගසා මරාදමන ලදී.

willi.oiseau.migrateur

විලී ග්‍රාෆ් (Willi Graf)

DSCI3482 - CopyDSCI3490 - CopyDSCI3492 - CopyDSCI3486 - CopyDSCI3491 - Copy

ඔවුන් සිහිවිම පිණිස විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඉදිකර ඇති ඔවුන්ගේ පත්‍රිකා වල අනුරූ සහ ඡායාරූප අඩංගු සමරුව.

Grab_Sophie_und_Hans_Scholl_Christoph_Probst-1

හෑන්ස් ,සොෆී හා ක්‍රිස්ටෝෆර් ප්‍රෝබ්ට්ස් ගේ සොහොන් කොත.

ඈන් ෆ්‍රෑන්ක්ගේ නිවස අද..

දෙවන ලෝක යුද්ධයෙන් පසුවත් ව්‍යාපාරික ස්ථානයක් ලෙසම පවත්වාගෙන ගිය ප්‍රින්සන්ග්‍රාච්ට් 263  නිවස  එක්දහස්  නවසිය පනස් ගනන් වන විට භාවිතයට ගත නොහැකි තත්වයට පත්වන්නට පටන් ගෙන තිබුණි.කඩා ඉවත් කලයුතු බවට නිර්දේශ වූ නිවස රැක ගැනීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වූ අතර..ඔටෝ ෆ්‍රෑන්ක් හා එක්වූ ඔවුන් ගේ දැඩි කැපවීම නිසාම  කෞතුකාගාරයක් ලෙස සකස් කල නිවස 1960 මැයි 3 වනදා මහජනයා සඳහා විවෘත විය.ඈන් ෆ්‍රෑන්ක් දිනපොතේ ලියු සටහන් සමහරක්, බිත්තිවල ලියා ඇති ප්‍රදර්ශනය ආරම්භ වන්නේ මේ සටහනින් හා ඈන්ගේ අවසන් ඡායාරූප යැයි සැලකෙන  මේ සේයාරූ හතරෙනි.
ඈන් ගේ දින පොතේ මුල් පිටපත සමඟ දෙවන ලෝක යුද්ධයේ සිහිවටන එකතු  කල ප්‍රදර්ශනයක්ද,එකල සිර කඳවුරු වල සිට දිවි ගලවා ගත්තවුන් හා සිදුකල සම්මුඛ පරීක්ෂන කීපයක විඩියෝ පටද එහි  ඇත.
1960 මැයි 03 වනදා කෞතුකාගාරය විවෘත කිරීමට පෙර ඉහල මාලයේ බඩු කාමරයේ      සිටින ඔටෝ ෆ්‍රෑන්ක්.
මේ වගේ ඇලක් අයිනේ තියන ගෙදරක අඳුරු පාට දොරෙන් ඇතුලට ගියාම මේ තරම් ලොකු ඉඩකඩ තියන කාමර ඇති කියලා මෙතෙන්ට එන කෙනෙක් නම් කීයටවත් හිතන්නේ නැතිවෙයි.-ඈන් ෆ්‍රෑන්ක් -1942 ජූලි 09-
ඇය සඳහන් කරන නිවස ඉදිරිපසින් ගලායන ඇල හා නිවසේ දොරකඩ සිට අවට පෙනෙන අයුරු.

ඈන් ෆ්‍රෑන්ක් සිය දින පොතේ ලියා ඇති වසර 80ක් පමණ වූ චෙස්නට් ගස -2010 අගෝස්තු  23 වනදා- කඩා වැටුණා.

 

අවසානයට පෙර ඇය ගියා…

ඈන් හා මාගෝ දෙදෙනාද බර්ජන් බෙල්සන් කඳවුරේදී ස්ථිර ලෙසම මියගිය බව දැන ගන්නට ලැබීමෙන් ටික දිනකට පසුව ඔටෝ ෆ්‍රෑන්ක් වෙත ආ මියැප්,ඈන් යලි ආ දිනෙක ඇයට දෙන්නට යැයි සිතමින් ඈන් ඇතුලු පිරිස  අත් අඩංගුවට ගත්දා රහස් ඇනෙක්සියේ බිම විසිරී තිබී  තමා නිවසට රැගෙන ගිය ඈන්ගේ දිනපොතට අයත් සියලුම පොත් හා කඩදාසි ඔටෝ ෆ්‍රෑන්ක්ට දුන්නාය.
අපිව අත් අඩංගුවට ගත්තට පස්සේ ජර්මානුවන් අපේ නිවසේ තිබුණු සියලුම ගෘහ භාණ්ඩත් අපේ අනිත් හැමදේමත් අරගෙන ගිහිං තිබුනත්..,කඩදාසි හා පොත් පමණක් ඉතිරි කරලා ගිහිං තිබිලා තියනවා.ඒ අතර තිබුණ ඈන්ගේ දින පොතට අයත් පොත් හා කඩදාසි මියැප් ඇගේ නිවසට අරන් ගිහිල්ලා තිබුනා.
ඈන් ලියූ කිසිවක් මියැප් කියවා තිබුනේ නෑ.ඇය බලාපොරොත්තු සහගතව ඉදලා තියන්නේ මේ සියල්ලම කවදා හරි  ආයෙමත් ආපු දවසක ඈන්ටම දෙන්නයි.
මම ඈන් ලියා තිබූ දේවල් බොහෝම හෙමින් කියවන්න පටන් ගත්තා. එය ඉතාමත් අසීරු කටයුත්තක් උනා.දවසකට පිටු කීපයක් පමණයි මට කියවන්න පුලුවන් උනේ.මොකද ඒ සියල්ලම ඉතාමත්  අවාසනාවන්ත ලෙස මාව වෙලාගන්න වේදනාකාරී මතකයන් වීම නිසා.
අනිත් කාරණය තමා එය රහස් එළිදරව් කිරීමක්.මට අහිමි වෙලා ගිය මගේ දියණිය  ඒ ලියා තිබූන දේ හෙලිදරව් කලේ වෙනස්ම කතාව.
මම කොයිම වෙලාවකවත් කල්පනා නොකල මට කවදාවත් හිතා ගන්නත් බැරි ඇගේ සිතේ තිබුන ගැඹුරු අදහස් හා හැඟීම් වලින් ඒ දිනපොත පිරී තිබුනා. මම හැම වෙලාවකම ඇයට සමීප වෙන්න උත්සාහ කලා…ඒත් ඇගේ සිතේ තිබුන දේවල් ඇත්තටම මම දැන ගෙන ඉදලා නෑ.
ඇය  ඉහල මාලයේ බඩු කාමරයේ කුඩා ජනේලයෙන් දුටුවා යැයි  ලියා ඇති නිල් පාට අහස ,චෙස්නට් ගස හරි අහසේ පියාඹනවා දුටුවැයි ලියා ඇති මුහුදු ලිහිණියන්  ගැන හරි ඇය කවදාවත් නිකමටවත් කතා කරලා තිබුනේ නෑ.පිටිසර සුන්දරත්වය ගැන ඇය උනන්දුයි කියලා නිකමටවත්  ඇය අඟවලාවත් නැහැ.
හරියටම කූඩුවක දාපු කිරිල්ලියක් වගේ  නිහඬව තමන්ගේ සියලු සිතුම් පැතුම් සඟවාගෙනයි ඇය ජීවත් වෙලා තියන්නේ.
ඇය තමන්ගේ අම්මා ගැන ලියලා තිබුණ දේවල් කියෙව්වාම මම ඉතාමත් කම්පනයට වගේම දුකටත් පත් උනා.
මාස කීපයකට පසුව මම වැඩියම ආදරය කල අය නැතුව ගෙවන ජීවිතයට මම හුරු උනා. සැඟව ගිහින් ජීවිත බේරාගෙන තිබුණ මගේ පැරණි යාලුවන් නැවතත් ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණෙමින් සිටියා.
ඔවුන් ලොකු උනන්දුවක් දැක්වුවා තමන් සැඟවෙලා ගතකරපු ජීවිතයට බෙහෙවින් සමාන අත්දැකීම් ලියවුණු ඈන්ගේ දින පොත කියවා බලන්නට.ඔවුන්ගේ අදහස උනේ ඈන් බලාපොරොත්තු උනා වගේම මේ දින පොත මුද්‍රණය කල යුතු බවයි..
මෙය සාහිත්‍යමය වශයෙන් වගේම ඓතිහාසික වශයෙනුත් වැදගත්  නිසා..මං ළඟ මගේ පෞද්ගලික දෙයක් විදියට තියාගෙන ඉන්නේ නැතුව හැමෝන්ටම අයිති අර්ථාන්විත ලේඛනයක් විය යුතු බවට ඔවුන් මා සමඟ තර්ක කරන්න උනා.
ඒත් මුලදි මට ඒදේ කරන්න කැමති වෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ.නමුත් ටිකින් ටික මම තේරුම් ගත්තා  ඔවුන් කියනදේ නිවැරදි බව.   -ඔටෝ ෆ්‍රෑන්ක්-
තමාට නිසැක වශයෙන්ම ඉටුකරගත හැකිවේදැයි නොදැන වූවත් ලේඛිකාවක් වෙන්නට  ඈන් ෆ්‍රෑන්ක් තබා තිබූ මහඟු බලාපොරොත්තුව ඉටු කරමින්, තමා ආරම්භ කල කාර්යයේ ඒ සුභදායක අවසානය නොදැකම ඇය ජීවිතයෙන් සමුගෙන ගොස් දෙවසරකට පසුව 1947 ජූනි 25 වනදා නෙදර්ලන්තයේදී ‘රහස් ඇනෙක්සිය’  Het Achter Huis  නමින් ඈන්ගේ දින පොත ප්‍රකාශයට පත් විය.

වින්ඳ දුක් බර වැඩි නිසා…

-1944 සැප්තැම්බර් 05- වෙනිදා,දින දෙකක වෙහසකාරී ගමනකින් පසුව  පාන්දර දෙකට වෙස්ටර්බෝර්ක් [Westerbrok] සිට අවුස්ච්විට්-බීර්කනෝ [Auschwitz-Birkenau] වෙත දහසක් දෙනා රැගෙන ආ  ගවයින් ප්‍රවාහනය කරන දුම්රිය,  දුම්රිය වේදිකාවේ නවත්වන විට,
පිටතින් අපිට මිනිසුන් කථා කරන ශබ්ද ඇහුනා.ඔවුන් දුවන හා මහා හඬින්  කෑගසන ශබ්දත් ඒ අතරම  ඇහුනා.අපිට අවශ්‍ය උනේ වතුර හා පිරිසිදු වාතය.වසා තිබූ දොරවල් හදිසියේම විවෘත උනා.ඒ නිල් හා අලු මිශ්‍ර ඉරි සහිත සිරකරුවන් අඳින වර්ගයේ ඇඳුම් ඇඳ පැතලි තොප්පි පැළඳ සිටී තරුණයින් අතින්.ඔවුන් අතේ විශාල මුගුරක් බැගින් තිබුනා.
‘ඉක්මනින් බැහැපන්, ඉක්මන් කරපන්’ඉක්මන් කරපන්’ ඔවුන් කෑගහන්න පටන් ගත්තා.
දුම්රියෙන් බැහැපු අපි ඉදිරිපිට එක අතකින් කසයකුත්,පසෙකින්  අපි දෙසට උසි ගැන්වූ දඬ බල්ලනුත් සහිතව  හිටියේ ප්‍රකට එස් එස් භටයි.ඉතාමත් විශාල පිරික්සුම් විදුලි පහන් අපි දිහාට යොමුවෙලා තිබුනා. හරියටම  මහ දවාලක වගේ එළියක් තිබුණා.-රෝසා ඩී වින්ටර්-ලෙවී -To the gas chamber/Aan de gaskamer ontstnapt-

ඒ බියකරු උදෑසන දුම්රිය වේදිකාවේදී පළමුවෙන්ම එහි සිටි පිරිස කාන්තාවන් හා පිරිමින් ලෙස  වෙන් කෙරුණු අතර,ඉන් පසුව ඔවුන් සියලු දෙනාවම නාසි වෛද්‍යවරයෙකු  විසින් සෝදිසි කරන බලන ලදී.
නිලධාරියා ඉතාමත් පරීක්ශාකාරීව  පෝලිමේ සිටි අයව තෝරන්න පටන් ගත්තා.තියුණු ඇස් ඇති නිරෝගී පෙනුමෙන් සිටි අයව දකුණු පැත්තට..ඒ කියන්නේ හොඳ පැත්තටත්.. ඔත්පලව සිටි,මලානික ඇස් ඇති අය ,කුඩා දරුවන් හා ඔවුන්ගේ මව්වරුන්,මහලු අය සියලු දෙනාම අනිත් පැත්තටත් බෙදා වෙන් කෙරුණා.ඔවුන් කෙලින්ම යැවුනේ ගෑස් කාමර වෙතයි.-රෝසා ඩී වින්ටර්-ලෙවී -To the gas chamber-

මේ වෙන් කිරීමේදී රහස් නිවසේ සිටි සියලු දෙනා දකුණු පස කොටසට අයත් වුනා. ඒ කියන්නේ හොද පැත්තට.ඒකෙ තේරුම ඔවුන් බලෙන් සේවයේ යොදවන කම්කරුවන් උනා.
නමුත් මව හා දියණියන් දෙදෙනා එක් පසෙකටත්,පියා අනිත් පසටත් යලි කිසි දිනක හමු නොවන ලෙස ඔවුන් වෙන්ව ගියා.

-1944 ඔක්තෝම්බර් මාසයේදී ඈන් හා මාගෝ පමණක් අවුස්ච්විට්-බීර්කනෝ සිට ජර්මනියේ බර්ජන්-බෙල්සන්[Bergen-Belsen]වෙත මාරු කර හරිනු ලැබූ අතර,එය අවුස්ච්විට් මෙන් ඝාතක කඳවුරක් නොව,රඳවා තබා ගැනීමේ කඳවුරක් උනා.
එළඹෙන ශීත සෘතුව සඳහා කිසිදු හව්හරණක් නොමැති කඳවුර තුල පාලනයකින් තොරව රෝග බෝවෙමින් තිබුණු  අතර,ආහාර පිණිස ඉඳහිට පමණක් සිරකරුවන් වෙත ආහාර ස්වල්පයක් ලැබුණි.
ඈනුයි  එයාගේ අක්කයි හොඳටම කෙට්ටු වෙලා,අඳුර ගන්නත් බැරි තරම් වෙනස් වෙලා හිටියා. ඔවුන්ගේ පෙනුම ඉතාමත් කණගාටුදායකයි, කට හඬේ පුංචි ගොතයකුත් එක්ක වෙව්ලීමකුත් දකින්න තිබුණා.
පැහැදිලිවම කිව්වොත්  ටයිපස් උණ රෝගයට ඔවුන් ගොදුරු වී ඇති බවට වූ  ලක්ෂණ  පෙනෙන්නට තිබුණා.
බැරැක්කයේ තිබුණු කරදරකාරීම තැනකයි ඔවුන් වැතිරිලා හිටියේ.බැරැක්කයේ දොර ඇරෙන වැහෙන වාරයක්, වාරයක් පාසා ඔවුන් දොර වසා දමන්නැයි කෑගසමින් ඉල්ලා සිටියා.
සීතල සුළඟට කෙලින්ම නිරාවරණය වෙමින්,උණ රෝගයෙන්ද පෙලෙමින් සිටි ඔවුන්ගේ ගතවෙන දිනයක් දිනයක් පාසා දුර්වල වෙමින් ගිය කට හඬවල් අවසානයේදී නිහඬ උනා…
ෆ්‍රෑන්ක් දැරියන්ගෙන් ඉස්සෙල්ලාම මියගියේ වැඩිමහල් දැරියයි…ඉන් දින කීපයකට පසුව බාල දැරියත් මිය ගියා.-රැචල් වෑන් ඇමරොන්ගන්-ෆ්‍රෑන්ක්ෆූඩර්-[Rachel Van Amerongen-Frankfoorder]
-1945  මාර්තු- මාසයේ දිනකදී මුලින්ම මාගෝත්, ඉන් දින කීපයකට පසුව ඈන් ද බර්ජන් බෙල්සන් කඳවුරේදී මිය ගියාය.ඉන් සති කීපයකට පසුව අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍ය හමුදා කඳවුර නිදහස් කර ගන්නා ලදී.

අවාසනාවන්ත අවසානය කරා…

රහස් නිවසේ සැඟවී සිටි අට දෙනා අතරින් මුලින්ම මරණයට පත්වූයේ හර්මන් වෑන් පෙල්ස්ය [Hermann Van Pels] ඔක්තෝම්බර මාසයේ මුල හරියේ දිනකදී පෝලන්තයේ අවුස්ච්විට්ස්-බීර්කනෝ [Auschwitz-Birkenau] කඳවුරේ ගෑස් කාමරයකට යවනු ලදුව ඔහු මරා දමා තිබුණි.
මට කවදාවත් ඒ මොහොත අමතක කරන්න බැහැ.මමත් දහහත් හැවිරිදි පීටරුත් තෝරාගත් මිනිසුන් කණ්ඩායමක් ගෑස් කාමර වෙත රැගෙන යන දිහා බලාගෙන හිටියා.ඒ කණ්ඩායමේ මිනිසුන් අතර පීටර්ගේ තාත්තත් හිටියා අපි දැක්කා.-ඔටෝ ෆ්‍රෑන්ක්-

ඔක්තෝම්බර් මස අවසානයේ දිනක අවුස්ච්විට්ස්-බීර්කනෝ සිට ජර්මනියේ හැම්බර්ග් [Hamburg] නගරය ආසන්නයේ තිබූ නියුන්ගම් [Neuengamme] කඳවුරට යැවීමට තෝරා ගත් පිරිසට අයත් වූ ෆ්‍රිට්ස් ෆෙෆර්[Fritz Pfeffer] අධික වෙහෙස නිසා රෝගීවී-1944 දෙසැම්බර් 20-වනදා එහිදී මිය ගියේය.

1944-45 ශීත සෘතුව පෝලන්තයේ දකුණු දිග ප්‍රදේශ දැඩි සීතලකට මුහුණ දුන් වකවානුවක් විය. ආහාර අඩු කමිනුත්,සීතලට අවශ්‍ය තරම් ඇඳුම් සපයා ගැනීමට නොහැකි කමිනුත් පීඩා විදීන්නට සිදුවීමෙන් රෝගීවූ එඩිත් ෆ්‍රෑන්ක්-හෝලැන්ඩර් [Edith Frank-Hollaender], අවුස්ච්විට්ස් -බිර්කනෝ කඳවුරේදී -1945 ජනවාරි 06- වනදා මිය ගියාය.
අධික උණෙන් පෙලීම නිසා,රෝගී වූවන් සිටින බැරැක්කයක් වෙත රැගෙන යාමෙන් පසුව
මට ඇය නැවතත් කඳවුරු බිමේදී මුණ ගැසුනේ නැහැ.ඒත් මමත් එම බැරැක්කය වෙත ගියා රෝගී වීම නිසා.දිනක් උදෑසන හදිසියේම  මම ඇයව දුටුවා.එඩිත් නිකම් හෙවනැල්ලක් වගේ වෙලා හිටියා. ඒත්  ඇත්තටම මම ඇයව අඳුනා ගත්තා .ඇය හිටියේ වෙනත් වාට්ටුවක.ටික දවසකින් ඇය එහිදී මියගියා.අතිශය වෙහෙසකර ඒ ජීවිතයෙන් ඇය නිදහස ලැබුවා.-රෝසා ඩී වින්ටර්-ලෙවී-[Rosa de Winter-Levy][The footsteps of Anne Frank]

ඕගස්ටෙ වෑන් පෙල්ස් [Auguste Van Pels]මහත්මිය -1944 නොවැම්බර් මස අවසානයේදී  අවුස්ච්විට්ස්-බීර්කනෝ  සිට ජර්මනියේ බ්‍රේමන් [Bremen] නගරය ආසන්නයේ තිබූ බර්ජන්-බෙල්සන් [Bergen -Belsen]කඳවුර වෙත යවන ලදී.
එහිදී ඇයට  ඔක්තෝම්බර් මාසයේදී  බර්ජන්-බෙල්සන් වෙත රැගෙන ගිය ඈන් හා මාගෝ යලි  දකින්නට ලැබුණි.
ඉන් මාස කීපයකට පසුව බොහෝ විට පෙබරවාරියේදී  පමණ, ඇය තවත් සිරකරුවන් පිරිසක් සමඟ පලමුව රගුන්[Raguhn]වෙතත් එතැනින් තෙරෙසින්ස්ටාඩ්ට් [Theresienstadt]කඳවුර වෙතත් ගෙන යන්නට තීරණය කෙරුණි.ඇසින් දුටු සාක්ෂියකට අනුව මේ ගමන අතර මඟදී   දුම්රියේ ගාඩ්වරුන්, ගමන් කරන දුම්රියේ ඉදිරිපසට විසි කර කුරිරු ලෙස ඇය  මරා දමන ලදී.

1945 ජනවාරි වන විට රුසියානු හමුදා ඉතා ශක්තිමත් ලෙස සංවිධානය වෙමින්  නොනවතින ඉදිරි මෙහෙයුම් සිදුකරමින් අවුස්ච්විට්ස්- බිර්කනෝ කඳවුර ආසන්නයටම පැමිණ සිටියහ.
කඳවුරේ සිටි නාසි භටයින් තමා සමඟ පිටව යා යුතු යැයි සිරකරුවන්ට බල කරන ලදී.   බොහෝ විට ඔටෝ ෆ්‍රෑන්ක් රෝගී බව පෙන්වමින් රෝගීන් සඳහා වූ  බැරැක්කයක් වෙත ගිය අතර ඔහු, තමා මෙන්ම රෝගී වූවන්ගේ බැරැක්කයට විත්  සැඟවෙන ලෙස පීටර් වෑන් පෙල්ස්ටද [Peter Van Pels]බල කරමින් කියා සිටියේ.
නමුත් පීටර් හොඳටම බය වෙලයි හිටියේ.බොහෝ සිරකරුවන් හිතාගෙන හිටියේ නාසින් සමඟ  යන්නට එකඟ නොවී ඉතිරි වන සියලුම දෙනා ඔවුන් පිටව යන්නට පෙර වෙඩි තබා මරා දමාවි කියලයි. ඉතිං ඔහු තීරණය කලා කඳවුරෙන් පිටව යන්නන් සමඟ ඉතා අසීරුවූ ගමන යන්නට.-ඔටෝ ෆ්‍රෑන්ක්-
ජනවාරි අවසානය වන විට ඒ භයානක ගමන ඕස්ට්‍රියාවේ[Austria] මෞතවුසන් [Mauthausen] කඳවුරෙන් අවසන් කරන්නට  පීටර් සමත්වී තිබුනත්, එම කඳවුර මිත්‍ර හමුදා විසින් මුදාගන්නට දින තුනකට කලින් -1945 මැයි 05- වෙනිදා ඔහු ඉතා අවාසනාවන්ත ලෙස එහිදී මිය ගොස් තිබුණේය.

-1945 ජනවාරි 27-වනදා රුසියානු හමුදා විසින් අවුස්ච්විට්ස්-බිර්කනෝ කඳවුර මුදාගන්නා විට එහි ඉතිරිව සිට දිවි ගලවා ගන්නට සමත්වූ  7650 දෙනා අතරින් එක් අයකු වන්නට ඔටෝ ෆ්‍රෑන්ක් සමත්වී තිබුණි.
ඉන් පසුව ආපසු තම නිවස වෙත එන දීර්ඝ ගමන ඇරඹූ ඔහු ඔඩෙස්සාව හරහා යුක්රේනයටත්, එතනින් ප්‍රංශයටත් පැමිණියේය. එතැන් සිට දුම්රියෙන් ගමන් කල ඔහු  ජූනි 03වනදා තමා අත් අඩංගුවට පත් වීමෙන් මාස දහයකට පසුව යලිත් ඈම්ස්ටර්ඩෑම් වෙත ලඟා වූයේය.
ඒ එන ගමන අතර මඟදී හමුවූ රෝසා ඩී වින්ටර්-ලෙවී[Rosa de Winter-Levy] වෙතින් ලද තොරතුරු අනුව තම බිරිඳ එඩිත් මියගිය බව තිර ලෙසම දැන සිටි ඔහු  දියණියන් දෙදෙනා ජීවතුන් අතර ඇතැයි තරයේ විශ්වාස කලේය.
ජර්මනියේ බර්ජන්-බෙල්සන් වෙත ඔවුන් ගෙන ගිය බව ඔහුට දැන ගන්නට ලැබී තිබුණු අතර එය ඝාතක කඳවුරක් නොවීය.මියැප් හා ඇගේ සැමියා ජෑන් හා එක්වූ ඔටෝ දිනපතාම ඈන් හා මාගෝ පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට බොහෝ වෙහෙස විය.මාස දෙකකට පමණ පසුව,කඳවුර මුදාගන්නට සති කීපයකට පෙර  ඔවුන් දෙදෙනාද බර්ජන්-බෙල්සන් කඳවුරේදී ටයිෆස් උණ සෑදීම නිසා මියගිය බව ඔටෝ ස්ථිර ලෙසම දැන ගත්තේය.

(ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් ලබාගත් ඒවාය.)

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..

1940 මැයි 10 වනදා නෙදර්ලන්තය අල්ලා ගැනීමෙන් පසුව එහි සිටි සියලුම යුදෙව්වන් ලියාපදිංචි කල බලධාරින් වසර අවසාන වනවිට රජයේ ආයතන වල සේවය කල යුදෙව්වන් සේවයෙන් පහ කරන ලදී.
1942 මැයි මාසය වනවිට වයස අවුරුදු හයට වැඩි යුදෙව් ජාතිකයන් හැමදෙනාටම ඩේවිඩ්ගේ තරුව නම් වූ කහ පැහැති තරුව තමන්ගේ ඇඳුමේ පලදින ලෙස අණ ලැබී තිබුනි. තමන්ට එරෙහිව පැනවෙන නිතී වැඩි වන බව යුදෙව්වන්ට අවබෝධ වෙමින් තිබුණි.
මේ හැමදේම අතරේ ජීවිතෙත් හෙමින් සැරේ ගෙවිලා ගියා.ජැක් හැම වෙලේම මාත් එක්ක කියන්න පටන් අරගෙන තිබුණා ‘මම මීට පස්සේ මොනවත්ම කරන්නේ නැහැ. මොකද ඒක කරන්න තහනම් දෙයක්ද නැද්ද කියලා මම හරියටම දන්නේ නැති හින්දා.’-1942 ජූලි-
සෙමින් වූවත් තමා වෙත පැමිණෙමින් තිබෙන නතර කල නොහැකි අනතුර වටහාගෙන සිටි ඔටෝ ෆ්‍රෑන්ක් සැඟවී ජීවත් වන්නට  තමාටත් සිදුවිය හැකි  බව අවබෝධ කර ගත්තේය. ඔහු තමාගේ කාර්යාලයේ සේවය කල විශ්වාසය තැබිය හැකි හිතවතුන් වූ මියැප් ගීස් [Miep Gies],බෙප් වොස්කජූල [Bep Voskuijl], ජොහෑනස් ක්ලෙයිමන් [Johannes  Kleiman] හා වික්ටර් කූග්ලර් [Viktor Kugler]ගෙන් ඒ සඳහා තමාට උපකාර කළ හැකිදැයි විමසුවේය.එය කෙතරම් භයානක හා අපහසු කාර්යයක්ද යන වග හොඳින්ම වටහාගෙන සිටිමුත්,සියලු දෙනාම ඒ මොහොතේම ඒ සඳහා ෆ්‍රෑන්ක්ට තම තමන්ට හැකි උපරිමයෙන් උපකාර කරන්නට එකඟ වූහ.
ඒ සඳහා අවැසි කටයුතු සෙමින් සූදානම් වෙමින් තිබූ මොහොතක 1942 ජූනි 29 වනදා සියළුම යුදෙව්වන් ජර්මනියේ කම්කරු කඳවුරු වෙත යවන්නට ජර්මන් බලධාරීන් තීරණය කර ඇතැයි නෙදර්ලන්තයේ සෑම  පුවත් පතක්ම වර්තා කර තිබුණි.බේරී යා හැකි සියලු මං අහුරාලමින් ඒ වනවිටත් ඔවුන් සියළු දෙනාගේම නම හා ලිපිනය ජර්මානුවන් සතුව තිබුණි. කල හැකි එකම දෙය වූයේ සැඟවී යාම පමණකි.
තත්වය තවත් බැරෑරුම් කරමින් ජූලි 05 වනදා යුදෙව් ජාතිකයන් දහසක් එක්තරා ලිපිනයකට කැඳවීමක් ලදහ.මේ පළමු කණ්ඩායමට මාගෝ ලද කැඳවීම් ලිපිය ඔවුන්ගේ තීරණය ඉක්මන් කරන්නට හේතු විය.
මියැප් හවස් වරුවේ ඇවිත් සපත්තු වගයක්,ඇඳුම්,මේස් වගේ දේවල් අරගෙන ගියා.රෑ එකොළහට නැවත වතාවක් සිය සැමියා සමඟ නිවසට ආපු ඇය,අපේ අත්‍යාවශ්‍ය බඩු බාහිරාදිය  තවත් කොටසක් අරගෙන ගියා.-1942 ජූලි 08-
රට තුල නිෂ්පාදිත ආහාර වලින් වැඩි ප්‍රමාණයක් ජර්මනිය වෙත යැවුණු අතර නෙදර්ලන්තය තුල විශාල ආහාර හිඟයක් ඇතිවී තිබුනි.රහස් නිවසේ නිවැසියන් වෙනුවෙන් ආහාර සැපයීම උදව් කරුවන් මුහුණ දුන් ලොකුම ප්‍රශ්නය විය.
කෑම වර්ග හිඟවීම නිසා රජය ඒවා බෙදා දීම පහසුවීමට කූපන් පත් නිකුත් කලේය.කූපන් වලින් මිලදී ගත හැකියමක් සොයා බෙප් හා මියැප් දිනපතා සාප්පු ගියහ.
මියැප් අඩුම තරමින් දිනකට හතර සැරයක්වත් එක  එක තැන් වලින් එළවළු හා අනිකුත් ආහාර මිලදී ගැනීමට වෙළඳ පොලට යනවා.එසේ මිලදී ගන්නා දේ බෑග් ගොඩක දාගෙන ඒවා බයිසිකලේ පිටි පස්සේ බැඳගෙන එන ඇය  හරියට පේන්නේ පිටේ  බඩු ගොඩාක් බැදගෙන යන කොටළුවෙක් වගෙයි.-1943 ජූලි 11-
යුදෙව්වන්ට උපකාර කර අසුවුවහොත් ලැබෙන දැඩි දඬුවම් පවා නොතකා තමන්ට උදව් කරන මේ මිනිසුන් ඈන් මහත්සේ අගය කළාය.
තමන්ගේ ජීවිතයත් අනතුරකට ලක්වෙන බව  දැන දැනම,වෙන කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්නයි,වෙන කෙනෙකුට උදව් කරන්නයි හිතන මේ උතුම් මිනිසුන් ගැන ඇත්තටම පුදුම හිතෙනවා.අපට උදව් කරන අය ගැනම හිතුවොත් එයාලගේ හිත් වලට අපි කොයිතරම් බරක්ද,අපි එයාලට කොච්චර කරදරයක්ද කියලා මේ වෙනකන් වචනෙකින් වත් එයාලා අපිට අඟවලාවත් නැහැ.-1944 ජනවාරි 28-
සැඟවී දිවි ගෙවන දරුවන් තිදෙනා වෙනුවෙන් බෙප් ලඝු ලේඛනය පිළිබඳ පාඩම් මාලාවක් ඉල්ලුම් කළාය.
ඔයා බලන්නකෝ ලබන අවුරුද්ද වෙනකොට අපි ලඝු ලේඛනය පිළිබඳව කොයිතරම් හොඳ විශේෂඥයෝ වෙනවද කියලා.මේ වගේ රහස් සංඥා ක්‍රමයකට ලියන්න පුළුවන් වෙන එකම කොච්චර හොඳද..-1942 සැප්තැම්බර් 02-
මියැප් කූග්ලර් දෙන්නා අපි වෙනුවෙන් කොයිතරම් කරදර වෙනවද..ඔවුන් අපිට කොච්චර ආරක්ශාවක් රැකවරණයක් සපයනවද..,මියැප් කරන හැමදේමයි,මිස්ටර් කූග්ලර් අපි අටදෙනා ගැන දරන ලොකූ වගකීමයි කොයි තරම්ද කියනව නම්,හිතේ තියන කලබලයයි, බයයි නිසා සමහර වෙලාවට එයාලට කතා කරගන්නත් බැරිවෙනවා.-1944 මැයි 26-

සැඟවී සිටි අයට පිහිටවූ මිනිසුන් ඒ සඳහා කෙතරම් වෙහෙසවූවාදැයි යන්න අපට දැන ගන්නට ඈන් ලියා ඇති මේ කෙටි සටහන් කීපය පමණක් හොඳින්ම සෑහෙනු ඇත.

Previous Older Entries